Sunday, June 25, 2017

අතීතය සිහිනයක් පමණයි



අතීතය කියන්නෙ පැසවපු තුවාලයක් කියලා මං හිතපු කාලයක් තිබුණා . ඒ වර්තමානය අතීතය විසින් නිර්මාණය කල බව මං දැඩිව විශ්වාස කරපු නිසා. ජීවත් වෙනවද මැරෙනවද කියලා හිත හිත කඳුලින්ම ගත කරපු දවස් තිබුණා . ඒත් තාමත් මං ජීවත් වෙනවා.අඬන්නෙ නැතුව හිනාවෙන්න මට පුළුවන් වුණු නිසයි ඒ..

විවිධ මිනිස්සු ජීවිතේ දිහා බලන විදිහ විවිධාකාරයි.ඒ නිසාම අනිත් අය අපි හිතන විදිහටම හිතයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි .

"ඔයාට මොනවද ඔයතරමටම තියෙන ප්‍රශ්න ?"

" ප්‍රශ්න කියන දේවල් කාටත් තියෙනවා . ඕවා ගැන වැඩිය හිතන්න යන්න හොඳ නෑ"

"මෙයාට පිස්සු . මෙයා හිතන් ඉන්නෙ ලෝකෙ ඉන්න ප්‍රශ්න වැඩිම කෙනා මෙයා කියලා ."

මේ වගේ කතා ඕනෙම කෙනෙකුට කියන්න පුළුවන් . දහස් ගණනක් ධනාත්මක චින්තන පොත් ලියන්න පුළුවන් .ඒත් වෙන කෙනෙක් හිතන විදිහ තෙරුම් ගන්න එක අමාරු දෙයක්. "මට ඔයාව තෙරුම් ගන්න පුළුවන්" කියලා මුළු හදවතින්ම ⁣අවංකව කෙනෙකුට කියන්න පුළුවන් නම්, ඒක විශ්වාස කරන්න සලස්වන්න පුළුවන් නම්, ඒ පුද්ගලයා බොහොම වටින කෙනෙක් .

ඒත් මට නම් හිතෙන්නේ හිතක් බිඳුණු , පසුතැවෙමින්  , දුකින් ඉන්න කෙනෙකුට  අවශ්‍ය කරන්නෙ හිත හදන්න පුළුවන් , තමන්ව සනසවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හොඳ අසන්නෙක් විතරමයි . වෙනත් කෙනෙකුට තව කෙනෙකුගේ ජීවණ ගැටලු , ගැටලුව ඇති තැනැත්තාට ගැලපෙන විදිහට විසඳා දීමේ හැකියාවක් නෑ. ඔබ මේ අයුරින් කරන්න යයි කීමෙන් ඵලක් නෑ. අවශ්‍ය වෙන්නෙ නිවැරැදිව ගැටලුව හඳුනාගැනීමට සහය වීම පමණයි .

අවාසනාවකට අප බොහෝ දෙනෙකුට මේ කාර්යබහුල ජීවණ රටාවක් සමඟ හොඳ අසන්නන් වීමට නොහැකි වෙලා තියෙනවා . අපේ පවුලේ අය ගැන පවා, ඔවුන්ගේ ගැටලු ගැන , ඔවුන් සිතන දේ ගැන අපට අවබෝධයක් තියෙනවද කියලා අපෙන්ම ප්‍රශ්න කරන්නට කාලය උදාවෙලා.

අතීතය කෙනෙකුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නෙ හදිසි ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදියෙක් වගේ . සමහරවිටක ඔහුව සදහටම නිහඬ කළ යුතු වෙනවා. නමුත් කෙතරම් පහර කෑවත් ඔහුට පෙම් නොකරන්නටත් සිත ඉඩ දෙන්නෙ නෑ. අසන්නෙකු අවැසි වන්නේ ඒ මොහොතෙදියි. අතීතය සිහිනයක් පමණක් බව අපට සිහිගන්වන්නේ ඒ අසන්නා විසිනුයි. වත්මනේ සුගන්ධය දැනෙන්නට පටන් ගන්නේ එවිටයි. වාසනාවකට මටත් එවැනි දයාබර  අ⁣සන්නෙක් මුණ ගැසුණා.  ඔබත් වාසනාවන්ත නම්  ඔබටත් එවැනි අසන්නෙක් ඔබේ දිවියේ ඉන්නවා ඇති. ඒ සියලු දෙනාටම පිරිනමමු තුති කුසුමක්.....

12 comments:

  1. හ්ම්ම්ම් ටිකයි... දුකයි.. රහයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර

      Delete
  2. සිතීමෙන් සැනසුමක්
    වෙතී නම් එය තුටක්
    නිතී වත්මන සැපක්
    අතීතය සිහිනයක්.....

    ලස්සනයි සඳවතිය.

    ජයවේවා!!!

    ReplyDelete
  3. නැවත නොඑන අතීතය ගැනත්, කිසිදා ලබාගත නොහැකි අනාගතය ගැනත් හිතීම දැන් ඇති සොඳුරු වර්තමානය නැතිකරන එකම මගයි. නොඑන අතීතයෙන් සහ නොදුටු අනාගතයෙන් මිදෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා

      Delete
  4. මිනිස්සු ජීවත්වෙන්න ඕනේ. හැබැයි ඒ හුස්මගන්න මිනිස්සු විදිහට

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ..... ස්තුතියි කටුසු

      Delete
  5. ඔව් නේ...
    වර්තමානය ට අතීතයේ සම්බන්ධයක් තියෙනවා නේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම .... ස්තුතියි ඔබට

      Delete
  6. දුක සතුට සමබර කරන් ජීවත් වෙන්න ඕනා.. නැතුව බෑ...ප්‍රශ්න නම් හැමෝටම තියනවනේ...

    ReplyDelete

පළමු අරවින්දය

නෙතු නුඹේ මුණගැසුණු ස්නේහයේ ක්ෂිතිජ ඉම සංසාර මඳ නලක පටලැවුණු සුසුම් රොද දුර පේන හීන කඳු වලට එපිටින් ඉගිල අද වාගෙමයි හෙට...