Friday, June 16, 2017

ඇස් ( අවසන් කොටස)


ඇස් (පළමු කොටස)

 ඇස් (දෙවන කොටස)

ආයෙමත් ඒ හදවත විනිවිදින බැල්ම !  මට ඉබේටම බිල්ලා දිහා බැලුණා. බිල්ලගෙ දුඹුරු පාට ඇස් රතු පාට වෙලා තිබුණා .

"ඔයාගෙ ඇස් අමුතු වෙලා. ඇයි ඔහොම බලන්නේ ?"

"බාග වෙලාවට  ගෝනියෙ රතු පාටට හිරු එළිය වැදිලා ඒක ඇස් වලට පරාවර්තනය වෙලා වෙන්න ඇති."

මං වෙනදා වගේම ඒක විශ්වාස කළා.

ඔව්. මට ඒ කොළපාට ඇස් මුණගැහුණා .ඉස්සර කියපු කතා වලට වඩා හාත්පසින්ම වෙනස් කතා ඒ ඇස් දෙකෙන් කියවෙයි කියලා මං බලාපොරොත්තු වුණේ නෑ කියලා කිව්වොත්, ඒක බොරුවක්. ඒත්  ඒ ඇස්වල දිලිසීම අඩු වැඩි වුණා මිසක වෙන කිසි දෙයක් මට දකින්න ලැබුණෙ නෑ .කැම්පස් එකේ අවුරුදු උත්සවේ දවස්වල  මං හිතේ හැටියට ඒ බැල්ම විඳ ගත්තා . බිල්ලත් කවදාවත් නැතුව අවුරුදු උත්සවේට ඇවිත් හිටියා . එයා කිව්වේ ඒක එයාගෙ  ෆයිනල් ඉයර් එක නිසා මඟ හරින්න බෑ කියලා . මැකීටත් ඒක එහෙමම තමයි. මැකී කණා මුට්ටිය බිඳිනකොට ,බිල්ලා එයාගෙ ගෝනියත් අරන් ගෝනි පැනීමේ තරඟෙට ගිහිං තිබුණා . එයා ඒ තරඟෙන් පළවෙනියා වුණා . ඒත් අන්තිමට සංවිධායකයො  තෑග්ග දෙන්න හොයනකොට , බිල්ලා  තරඟෙ දිනුවෙ එන් ජී ඕ එකකින් දීපු තහනම් උත්තේජක අරගෙනයි  කියලා ආරංචි වුණා . ඉතිං පැනපු පැනිල්ලට නතර වෙලා තිබුණෙ ඇමරිකාවෙ.


බිල්ලා  ගිහිං තිබුණෙ එයාගෙ  ගෝනියත් අත්හැරලා . පිට පෙනුම රතු පාට වුණාට ඇතුළත තිබුණු අකුරු වලින්  ඔප්පු වුණේ ඒක රට හාල් ගෝනියක් බව . මං ඒක එතනම දාලා එන්න ආවා. පස්සෙ මං දැක්කා අපේ ජූනියර් බැච් එකේ තණකොළ පෙත්තා ගෝනියට බැහැලා ඉන්නවා . ඕෂධී මගේ ඇඟිල්ලෙ තිබුණු මුද්ද ගලවලා විසි කළා . ඒක පිත්තල මුද්දක් නිසා මට දුක හිතුණෙත් නෑ.ටික කාලෙකින් මට අසනීප වුණා . කරකැවිල්ලක් හැදිලා අප්පිරියාවකුත් ආවා.බැරිම තැන මං ගෙදර ගියා .


" අර ගෑණිගෙ ලේනෙ. ඔහොම දෙයක් නොකර ගත්තොත් තමා පුදුමෙ."


එහෙම කිව්වෙ කුඩම්මා .තාත්තා මාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගියා .එයා ඔපරේෂන් එකක් කලා. පස්සෙ කිව්වා , අසනීප වුණේ මගේ බඩේ ගෝනි කෑල්ලක් තිබුණු නිසයි, ඒක අයින් කරලා දැම්මයි කියලා . ගෝනිකෑල්ල මොන පාටද කියලා මං දොස්තරගෙන් ඇහුවා .එයා කිව්වා ඒකට පාටක් නෑ කියලා .



ඉන්පස්සේ මං කැම්පස් ගියෙ නෑ. තව අවුරුද්දනෙ ඉතුරුවෙලා තිබුණෙ . වැඩි දෙයක් උගන්නන්නෙ නැති වෙයි කියලා හිතුණා .නිවාඩු පිට තිබුණු ෆෝන් එකට දවසක් කෝල් එකක් ආවා. 


"මොකද කැම්පස්  යන්නෙ නැද්ද ?"


"කවුද කතා කරන්නෙ ?"


" තමුසෙ ගාව සීනියර්ස්ලගෙ නම්බර්ස් නැද්ද ?"


"මං ලඟ නෑ" කියලා මං කෝල් එක කට් කලා.පස්සෙ ආයෙම ගත්තා .


" මං මැකී . අචින්තා යන්නෙ නැද්ද ?"


මං දුන්න උත්තරය හරියටම මතක නැති වුණත් මගෙ නම මතක තිබුණට මට සතුටු හිතුණා .එයා බිල්ලා ගැන මුකුත්ම ඇහුවෙ නෑ.අපි අනං මනං ටිකක් කතා කලා.

" මං අහන්නමයි හිටියෙ . තමුසෙ නුගේගොඩ  ක්ලාස් ගියාද ඒ දවස්වල "


" ඔව්"


" මං තමුසෙව දැකලා තියෙනවා හලෝ. "


" මාත් "


"  තමුසෙගෙ ඇස් දෙක පට්ටයි ඕයි. මට  හිතුණා ඒ දවස්වල ෆොටෝ එකක් ගන්න අහන්නත්. ආයෙ වැරදියට හිතයි කියලා නිකං හිටියා "


" ඒ වුණාට මට අයියට වගේ කොළපාට ඇස් නෑනෙ ."


"හහ්. ඒ ජාන බං. ඒත් කැම්පස් ආවට පස්සෙ අඳුර ගන්නත් බැරිවුණා තමුසෙව  ."


"............................"


"මං අචින්තාට කතා කලේ  එක්ස්ටර්නල් හරි ඩිග්රිය කර ගන්න  කියන්න .ජීවිතේ සමහර  දේවල් තියෙනවා බං නමක් දෙන්න බැරි. වැරැද්ද අපි ඔය හැම මඟුලටම කියන්නෙ ආදරේ කියලා. ඕකට කියන්නෙ බං තණ්හාව .  ඉතිං තණ්හාවෙන් ඒ දේවල් අයිති කර ගන්න හැදුවම ජීවිතේ වරදිනවා"


 බිල්ලව මං තණ්හාවෙන් අයිති කර ගන්න හැදුවද කියලා හිතද්දි මටම හිනා ගියා.


" මොකෝ තමුසෙ හිනාවෙන්නෙ ?  අචින්තා මං ලන්ච් බ්රේක් එකේ බං ගත්තෙ .තියන්නම්.බායි."


මං ඕෂධීට ඒක කිව්වේ නෑ. ඒත් ඕෂධීම මට පස්සෙ කිව්වා මැකීට ක්ලාස් එකකුත් තියෙන නිසා හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් ලැබිලා කියලා. ඉන්පස්සේ එයා මට ආයෙ කෝල් කලේ නෑ.මාත් කතා කරන්න ගියෙ නෑ .


ඒත් මං තාත්තට කිව්වා මට ආයෙ  ඩිග්රි එක කරන්න ඕන කියලා. කුඩම්මා නම් කිව්වේ හදිසි නොවී ඉවසන්න කියලා.දවසක් තාත්තා අන්කල්  කෙනෙක්ව එක්කරගෙන ආවා.තාත්තා කිව්වෙ එයා වරදට සමාව දෙන හරිම හොඳ කෙනෙක් කියලා . අන්කල් නීතියට වැඩ. කඩදාසියක අත්සන් කරලා එයා මාව දරුකමට හදාගන්න ගත්තා .ඒත් මං ලොකු ළමයෙක් නිසාත් , ළමයි ලොකු වුණාම තමන්ව හදාගන්න අයව රැක බලාගන්න ඕනෙ නිසාත් මට සිද්දවුණා අන්කල්ව බලාගන්න .


"උඹට පිස්සුද අචින්තා ?" ඕෂධී ඇහුවෙ ගෙදරට ඇවිදින් .


"ඔව් මට පිස්සු " එහෙම කිව්වම ඕෂධී එයාට හදපු තේ එකත් නොබීම යන්න ගියා.


අන්කල් තාත්තා කිව්වා වගේම හරිම හොඳයි.එයාගෙ ඇස් දෙකටම කාච දාලා තිබුණා .ඒ ඇස් හරිම නිශ්ශබ්දයි. එයා ඇදහුවෙ අර බඩ තඩි හිනාවෙන චීන දෙවියන්ව. ඒ දේව පිළිම ගෙදර හැමතැනම තිබුණා . එයා කිව්වා කැමති නම් ඩිග්රිය  කරගන්න කියලා. මං කිව්ව පමාවට වැඩ පටන් ගත්තා .වරදකට කියලා තිබුණෙ අන්කල් රෑට  නින්දෙන් ගොරවපු එක විතරයි .ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.


ඒ කාලෙ වෙනකොට මං කොළපාට ඇස් ගැන අමතක කරලයි තිබුණෙ . නිශ්චිත නමක් දෙන්න බැරි දේවල් අපේ ජීවිතේ ඇතුළෙ තියාගන්න අපි මොනතරම් උත්සහ කලත් ඒවා අමතක කරලා දාන්න කාලයක් එනවා. ඉතිං අන්කල් එක්ක මං සතුටින් සමාදානයෙන් ජීවත් වුණා කියලා මේ කතාව ඉවර කරන්න තිබුණා , හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා අන්කල් ආන්ටි හිටපු දිහාවටම යන්න ගියෙ නැත්නම් .අන්කල් ගිහිං තිබුණෙ එයාගෙ පෙන්ෂන් එක මට තියා ගන්න කියලා . මොනවා වුණත් ලෝබ නැති හොඳ මනුස්සයෙක් .


" මං හිතලා බලලා ඕවා ගැන කිව්වේ නැත්නම් අද පාරට වැටිලා . දැන් ඉතිං කාටවත් බරක් නැතුව ඉන්නවනෙ "


අන්කල් ගිය දවසෙ අපේ ගෙදර ආපු කුඩම්මා  තාත්තට රහසින් කියනවා, මං අහගෙන. ඒ වචනවල තේරුමක් තිබුණත් නැතත් මං හුස්ම ගනිමින් හිටියා . ඒත් , ජීවත් වෙනවා කියන්නෙ හුස්ම ගන්නවට විතරක් ද? මට ඒ ගැන කල්පනා කරන්න උවමනාවක් තිබුණෙ නෑ.දාහක් ඇස් මං දිහා බලං හිටියා කියලා කියන්න තිබුණා නම් කොයිතරම් හොඳ ද? තටු කැඩුණු කපුටො දෙතුන් දෙනෙක් වටේ කැරකුණා මිසක දවස් හතකට පස්සෙ බල්ලෙක් වත් මං ලඟ හිටියෙ නෑ. ඒ ඉතිං ඔයා බල්ලෙක් හදාගත්තේ නැති හින්දනෙ කිව්වේ ඕෂධී .  ඒ දවස්වල වෙඩින් එකට ලැහැස්ති වුණු නිසා කෙල්ලටත් හරි හරියට වැඩ තිබුණා .


ගොඩක් කාලෙකින් ගියෙ නැති නිසා මට ආයෙ පන්සල්වත් පල්ලිවත් යන්න හිතුණෙත් නෑ.මං මූසල පාළුවකින් වෙලිලා, දුකින් තනිවෙලා හිටියා කිව්වොත් ඒකත් වැරදියි.   හිත ඇතුළෙ තිබුණෙ මහා හිස් බවක් . හිස් බව කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. එතකොට පිටතින් එන ඕනෙම දේකට කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිතට ඇතුළු වෙන්න පුළුවන් .ඉතිං මං හිතුවා ඇවිදින්න . ගොඩක් දුර යන්න නෙමෙයි. ටිකක් ඇවිදින්න ......


සෙනඟ ගැවසෙන වීදිවල, සෙනඟ නැති හුදෙකලා පටු මාවත් වල මං ඔහේ ඇවිදගෙන ගියා. කොයිතරම්    දවසක්  මං එහෙම ඇවිදගෙන ගියාද කියලා මං වත් දන්නෙ නෑ.දවසක් කවුදෝ මාව නතර කර ගත්තා .


" ඔව් මිසිස් දසනායක. මං හිතන්නේ අපිට පුළුවන් ඔයාව මේ ජොබ් එකට ගන්න ."


එහෙම කිව්වේ තිවංක ඉරුගල්බණ්ඩාර. පිළිවෙළට රැවුල කපපු, කොණ්ඩෙ පැත්තට පීරලා, ටයි ගැටය නිතර තදකර ගත්ත ,කැරකෙන පුටුවෙ ලාවට කැරකෙන ගමන්  මං දිහා රාජකාරි බැල්මක් හෙලපු කොළපාට ඇස් දෙක නොහොත් මැකී! 


" තෑන්ක් යූ"


තණ්හා රේඛා මියැදිලා තිබුණා .තිවංක ඉරුගල්බණ්ඩාර මගේ හිත් අහස කැළඹුවෙ නෑ. පොද වැස්සක්වත් වැස්සෙ නෑ.ඉරිතලලා තිබුණු හිත උඩින් දූවිලි සුළඟක් හමාගෙන ගියා. 



නිමි.

29 comments:

  1. සඳවතී. කතාව ආව විදිහට අද ඉක්මණින්ම ඉවරවුණාදෝ කියලත් හිතෙනවා. මේ කොටස ලිව්වේ කළබලයෙන්ද කියලත් හිතෙනවා. ඒ වුණත් කෙටි කතාව දිගු නොකර අවසන් කරපු එකට මම කැමතියි. කතාවේ රහ දැනෙන්නේ එහෙම වුණාම කියලයි මට හිතෙන්නේ.
    ඇස් ලස්සන කතාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! මගේ හොඳම කමෙන්ට්කරුට.....

      Delete
  2. දෙවෙනි කොටහා කියවලා මේකට එන්නන්...

    ReplyDelete
    Replies
    1. ඉක්නමටම එන්නෝ.....

      Delete
  3. කතාව සම්පුර්ණයෙන් කියෙව්වා... මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ.. //අයින් කලේ ගෝනියෙක්// ඒ කොටසට මං කැමති.. මැකී ප්‍රධාන චරිතේ වුනාට ප්‍රධාන චරිතෙටම ආවේ නෑ වගේ... මැකීට මොකද උනේ කියලවත් නෑ.. ඒ නිසා මං කතාව හදා ගන්න තීරනයක් ගත්තා..ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. කියවා තේරුම් ගැනීම ෆේල් නේද අරූ? lol

      Delete
    2. කැරකෙන පුටුවෙ ලාවට කැරකෙන ගමන් මං දිහා රාජකාරි බැල්මක් හෙලපු කොළපාට ඇස් දෙක නොහොත් මැකී!

      Delete
    3. අරූ, ස්තුතියි ආවට, කතාව කියෙව්වාට. ආදරයෙන් පිළිගන්නවා අහසට....

      මෙහෙමයි මේ කතාව අවසන් වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා . ඔබේ අවසානයත් දැන ගන්න කැමතියි .

      Delete
    4. ඉයන් , මේක පොල් මැල්ලුම් වර්ගයට ගන්න බෑද? ස්තුතියි !

      Delete
    5. අනේ මට ඒක තේරුනා ඉයන්... බලාපොරොත්තුවක් තියලා ගිහින්නේ ඉතින්.. මං ඒකයි කිව්වේ මං අවසානේ හදා ගන්න තීරණය කලා කියලා...

      Delete
  4. කොටස් දෙකම කියෙව්වා. හ්ම්ම් මොකද කියන්නෙ මේකට ???? මම කියවල තියෙන හොඳම කථා වලින් එකක්. මේක පත්තර වලට ඇරියත් වටිනව. මේ කථාවට තව ඇඩ් පාරක් දාන්න හිතයි. ලකුණු 10/10

    ReplyDelete
    Replies
    1. මව්බිම වගේ පත්තරේකට යැව්වනන් ලේසියෙන් පලකරගන්න පුලුවන්... එයාලා අනික් පත්තර වලට සාපේක්ෂව තරුණ අයගෙ නිර්මාණ වලට තැන දෙනවා...

      Delete
    2. ඉයන් , ස්තුතියි ගොඩාරියක් !!!!!!!!!!!!!!!!!!
      1. මගේ කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වාට
      2. ඒක තේරුම් ගත්තට
      3. ඒ ගැන කමෙන්ට් කලාට
      4. ඒ ගැන ඔබේ බ්ලොග් අඩවියෙහි සඳහන් කලාට

      ලකුණු ඊට වඩා අඩු වුණොත් නරකද? රවී, අමා, අරූ සහ මං නොදන්නා ගොඩක් අය පෝලිකමක් මට ඉස්සරහා ඉන්නවානෙ.

      Delete
    3. මිතිල , ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න බැරිද ? ඒත් මට නම් විශ්වාසයක් නෑ මේක පත්තරේකට යවන්න සුදුසුයි කියලා...

      Delete
    4. මෙතන අරූ මම නොවෙයි නේද... හි හී..මමත් තාම ලියන්න ගත්තා විතරයි.. අපි බලමු හොඳ නිර්මාණ කරන්න.. ඔයාගේ කතාව හරි ලස්සනයි...
      අමා නම් ඉතින් දක්ෂයා....

      Delete
  5. ඉයන් නිසායි මේ කතාව ගැන දැන ගත්තේ.

    මගේත් කැමත්තක් තිබුණේ නෑ බොළඳ විදියට හැසිරෙන කෙල්ලන්ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට, කියෙව්වාට වගේම කමෙන්ටුවටත්. ආදරයෙන් පිළිගන්නවා අහසට.... එන්නම් ඔය පැත්තටත් නොවැරදීම....

      Delete
  6. Replies
    1. ගොඩාරියක් ස්තුතියි මිතිල ... මහන්සි වෙලා ලියන දෙයක් තවත් අය කියවනවා කියලා දැනගන්න එක තරම් සතුටක් තවත් නෑ.

      Delete
  7. ඉයන්ගේ හොඩුවාවකින් ආවේ කොටස් තුනම කියෙව්වා හොද ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩාරියක්.... . ආදරයෙන් පිළිගන්නවා අහසට.... එන්නම් ඔය පැත්තටත් නොවැරදීම....

      Delete
  8. පොඩි අදහසක්. දෙවෙනි කොටසේ වෙරළේ සිද්ධියෙන් කථාවට වටිනාකම් එකතුවෙනවාද? මට වරදින්නත් පුළුවන්. එය නැතිවුණත් කථාවට හාණියන් නොවෙනවා යැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ඉයන් . මං ඒ සිදුවීම යොදාගත්තෙ මැකීවයි ,අචින්තාවයි නැවත සම්බන්ධ කිරීමට වුණත් ඒක අත්‍යාවශ්‍යම නෑ. මේක නිදහස් කතාවක් . කතාවෙ ඕනෙම තැනකින් ඒක වෙනස් කරන්න පුළුවන් . අවසානය වුණත් මගේ හිතට හරියන අවසානය මං ලිව්වට අවසන් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා . ඕනෙ නම් ඒ ක්‍රම ගැන වෙනමම පෝස්ටුවක් වුණත් ලියන්න පුළුවන් . නැවත වතාවක් ස්තුතියි ඔබේ දිරිගැන්වීමට...

      Delete
  9. ඔන්න ඉයන් පෙනපු පාර දිගේ මෙහෙ ආවේ.අප්පා පිස්සු හැදෙනෝ ඔය නුගේගොඩදිම මමත් එකතරා කාලයක් නිල් පාට ඇස් දෙකකට වහ වැටුනා. ඉඩක් තිබුනොත් එහෙත් ඇවිත් කියවලා බලන්නකෝ ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොඳුරු මිතුරිය .... ආදරයෙන් පිළිගන්නවා අහසට... අනිවාර්යයෙන්ම කියවන්න එන්නම් ...

      Delete
  10. ඉයාව් වේවි යාන්තම් ඉවර වෙනකල් කියෙව්වා. හැම පේලියක් ගානෙම වෙනසක්/අමුත්තක් මම බලාපොරොත්තු මම 'සංසාරගත ආදරේ' එහෙම පොළවෙන් ටිකක් උඩ තියෙන්නේ. පොලව ආසන්නයේදී ඒවා රස්නෙට වාෂ්ප වෙනවා!

    කතාව ගැන මටත් අදහසක් තියෙනවා. මම ඉතින් විචාරිකාවක්, ලියන්නියක් නොවන නිසා කියන්න බැහැ. හෙමීට ලියන්නම්කො. තව ලියමුකො

    ReplyDelete
    Replies
    1. ඔබ තරම් හොඳ විචාරිකාවක් වෙන කොහෙද? අනිවාර්යයෙන්ම ලියන්න . කියවන්න මඟ බලාගෙන ....

      Delete
  11. ඕහ්...

    මට මඟ ඇරිච්ච බ්ලොග් එකක්...

    පට්ට කතාවක්...
    මේක ඇත්තටම වෙච්ච දෙයක් එහෙම නෙමෙයි නේ???

    මුල ඉදන්ම කියෙව්වා...

    අකුරු පොඩි වැඩියි වගේ...
    හරිම අමාරුවෙන් කියෙව්වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... ආදරයෙන් පිළිගන්නවා අහසට... අකුරු වල ප්‍රමාණය විශාල කරන්නම් .

      ඇත්තම කතාවක් නම් නෙමෙයි . මගේ හිතට එන විකාර අදහස් තමයි.

      Delete

පළමු අරවින්දය

නෙතු නුඹේ මුණගැසුණු ස්නේහයේ ක්ෂිතිජ ඉම සංසාර මඳ නලක පටලැවුණු සුසුම් රොද දුර පේන හීන කඳු වලට එපිටින් ඉගිල අද වාගෙමයි හෙට...