Thursday, June 15, 2017

ඇස් (දෙවන කොටස )


ඇස් (පළමු කොටස )

මට බයටම දණ ගැහුණා. ඉන්පස්සේ මොන මොනවාදෝ කිව්වා . මාත් අනිත් අයට එකතුවුණා. ඒත් මගෙ ඇස් දෙක ඒ ඇස්වලින් මිදුණෙ නෑ. මේ ඒ ඇස් දෙකම තමයි. ඒත් මේ එයාමද? කෙට්ටු වෙලා හිටපු එයාගෙ  මුහුණ පුරාම රැවුල වවාගෙන, කොණ්ඩෙ වවලා පුංචි පෝනිටේල් එකක් දාලා තිබුණා . රෝස පාට තොල් කළු පාට වෙලා. එක අතක මහපට ඇඟිල්ලෙ නියපොත්ත දිගට වවලා.ඒ ඇස් මගේ ඇස් දිහා බැලුවෙ නෑ. හදවත හිරවෙලා වගේ දැනුණා .

රැග් සීසන් එක ඉවරවුණාම අනිත් සීනියර්ස්ලා හැමෝම අපිත් එක්ක පණ දෙන්න වගේ කතා කරද්දි එයා මඟඇරලා ගියා. ඒත් බැච් එකේ කෙල්ලො හැමෝම එයාට වශී වෙලා හිටියෙ. එයාගෙ කාඩ් එක මැක්කා. යාළුවො කිව්වේ මැකී කියලා. මැකීව දැලේ දාගන්න ඕනෙ වුණේ මගෙ රූම් මේට්  ඕෂධීට.

" මාර පර්සනලිටි එකක් බං. කලම්බු සිලෙක්ට් වෙලත් එෆෙයාර් එක බ්රේක් වුණු  නිසාලු මෙහෙ ඇවිත් තියෙන්නේ . පිට පිට සෙමෙස්ටර් දෙකකම බැච් ටොප්ලු."

" ඉතිං ?  "

"ඉතිං කියන්නෙ ? කැමති නැද්ද මට හරියනවට?"

මං හිත පහුරු ගාලා බැලුවා ඊර්ෂ්‍යාවෙ ගිනි පුලිඟුවක්  මතුවෙලා තියෙනවද කියලා . අඩුගානේ  නිවි නිවී දැල්වෙන පණ අදින එකක්වත් ?  නැහැ . හිත  හොඳටම තෙතබරි වෙලා තිබුණා .ඉතිං කොහොම ගින්නක් අවුලුවා ගන්නද?

ඕෂධී දෙයක් කිව්වොත් කිව්ව දේ කරන කෙල්ලක් . මාස දෙකයි ගතවුණේ. ඕෂධී කිව්වා වගෙම මැකීව එයාගෙ  පෙම්වතා කරගත්තා . ඒත් සති දෙක තුනකින් ඕෂධී ආයෙමත් එයාගෙ එෆ් බී එකේ රිලෙෂන්ෂිප් ස්ටේටස් සින්ගල් කියලා වෙනස් කලා. ඊටපස්සෙ  "ආදරේ කඳුළු " පේජ් එකේ පෝස්ට්ස් එක දිගට ෂෙයා කරන්න ගත්තා .

"ඌ මහ සතෙක් . මගෙ වාසනාවට මං බේරුණේ. බොනවා, සිගරට් බොනවා විතරක් නම් මදැයි . පන්සිල් පද පහම කඩනවා."

ඕෂධී එහෙම කියලා එයා ගාව තිබුණු මැකීගෙ  ෆොටෝස් ටික ඩිලීට් කරගෙන , කරගෙන ගියා . සමහර අය කිව්වේ ඕෂධී කියපු කතාව ඇත්තම ඇත්ත කියලා. ඒත් ගෑණු ළමයි නම් වැඩි දෙනෙක් කිව්වේ  මැකී එක්ක ඉන්න පින නැති කමට ඕෂධී බොරු කතා පතුරවනවා කියලා .

මං ආයෙමත් හිත පතුල අතගාලා බැලුවා . වෙනසක් ඇත්තෙම නෑ. හිතට තට්ටු කලාම වෙනදා වගේම බොල් හඬක් ඇහුණා . ඒ ඇස් දෙක මං දිහා බැලුවෙත් නෑ. මං බලාපොරොත්තු අත්හැරියෙත් නෑ. තාත්තා ඉඳහිට කෝල් කලා . මුලින් මුලින් කුඩම්මත් කතා කලා. පස්සෙ ඒක නැවතුණා .

ඒ අතරෙ ගෝනිබිල්ලෙක් ජීවිතයට ආවා . එයා හිටියෙ එයා⁣ගෙම වුණු ගෝනියකට බැහැලා . ගෝනිය රතු පාටයි කියලා දැනගෙන හිටියට ඒක ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා මං දැනගෙන  හිටියෙ නෑ. මට දැනගන්න ඕන වුණෙත්  නෑ.  එයාගෙ කාඩ් එක "බිල්ලා". බොහොම තැන්පත් කෙනෙක්. හිනාවුණෙත් පරිස්සමට .... ඒත් එයා නිතරම එයාව තුවාල කර ගත්තා . මං බයවුණා ගෝනිය ඇතුළෙ තියෙන්නෙ වීදුරු කටුවත්ද  කියලා . එහෙම නෙමෙයි කියලා එයා දිව්රුවා ,එයා මතම. මං "හා" කිව්වා . බිල්ලා මට පන්සල් යන එක තහනම් කලා. ඒ ගමන මං අම්මා වගේ පල්ලි යන්න පටන් ගත්තා . එයා කිව්වා ඒකත් ඕනෙ නෑ කියලා. ඒ පාර නම් මට තරහ ගියා. ඒත් ඒ වෙනකොට පේමන්ට් එකෙන් ගත්ත පිත්තල මුද්දක් එයා මගෙ ඇඟිල්ලකට දාලා තිබුණෙ . විප්ලවවාදියෙකුගෙ පෙම් කවිය කියලා පත්තරේකින් ඉරාගත්ත කවි පෙළකුත් දීලා තිබුණා . ඉතිං මං හිතුවා ,එහෙම නීති දාන්න බිල්ලට අයිතියක් තියෙනවා කියලා.එහෙම හිතුවම තරහ අළු වෙලා, ඒ අළු සුළගෙ පාවෙලා ගියා.


එක හවසක මං බිල්ලට පෙරැත්ත කරලා, බැරිම තැන අඬලා එයාව මූදු වෙරළට එක්කගෙන ගියා.එයා කිව්වා ඔය වගේ  බොළඳ ගමන් යන්න එයා කැමති නෑ කියලා.( එයා කැමති ආවරණය වෙලා තියෙන තැන් වලට. එළිමහනට කැමතිම නෑ. ගෝනියට බැහැලා ඉන්න පුරුද්ද වෙන්නැති .) ඒත් කොහොමහරි එයා ආවා.එයා පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නකොට මං වෙරළ පුරාම නැටුවා.රැල්ල එක්ක සෙල්ලම් කලා.බිල්ලගෙයි මගෙයි නම් දෙක වෙරළෙ ලියන්න හිතලත් ආයෙ බැනුම් අහන්න වෙයි කියලා හිතලා ලිව්වේ නෑ. ඉතිං මං හෙමිහිට බිල්ලා ලඟට ගිහිං වාඩිවුණා .

බිල්ලගෙ ඇස් දෙක දිහා බලන්න වෙන්නෙ එහෙමත් දවසක. එයා මූණ බලලා කතා කරන කෙනෙක් නෙමෙයිනෙ . එයාගෙ ඇස් දෙක දුඹුරු පාටයි. සරලයි. කියවන්න පහසුයි. එ් වෙලාවෙ එයාගෙ ඇස් දෙකේ තිබුණෙ  අපි ටිකක් නිදහසේ කතා කරන්න  අර වැටකෙයියා පඳුරු  පැත්තට යමු වගේ බැල්මක්.ඒ බැල්ම වචනවලට හරවන්න හදනකොටම  එහා පැත්තේ තිබුණු පඳුරු අතරින් මතුවුණේ මැකී . එයා අමාරුවෙන් දුවගෙන ඇවිත් වමනෙ දාන්න පටන්ගත්තා . එයාගෙ පස්සෙන් දුවගෙන ආවෙ  අපේ සීනියර් අයියලා දෙන්නෙක් .මං ඉක්මනටම නැගිටලා ගිහිං මගේ වතුර බෝතලේ මැකීට දුන්නා . බෝතලේ ආපහු මගෙ අතට දෙනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා .ආයෙමත් ඒ කොළපාට ඇස් ...... අවුරුදු ගාණකට පස්සෙ , හිත ඇතුළෙ මහ හඬ දීලා අකුණු පුපුරන්න පටන් ගත්තා . මුහුද රළු වෙලා මහා රළ ගෙඩි ඇවිත් වෙරළෙ හැපුණා. ඒ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාව මේ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාවත් එක්ක එකතු වුණා .

"තෑන්ක්ස් නංගි . මැකී අපි යමු"

කවුරුහරි කිව්වා හීනෙන් වගේ මතකයි. මැකී ආපහු හැරිලා යාළුවොත් එක්ක යන්න ගියා. මං මැකී දිහාම බලන් හිටියා .පඳුරු අතරින් එහාට යන්න කලින් එයා ආපහු හැරිලා බැලුවා .ආයෙමත් ඒ හදවත විනිවිදින බැල්ම !  මට ඉබේටම බිල්ලා දිහා බැලුණා. බිල්ලගෙ දුඹුරු පාට ඇස් රතු පාට වෙලා තිබුණා .

"ඔයාගෙ ඇස් අමුතු වෙලා. ඇයි ඔහොම බලන්නේ ?"

"බාග වෙලාවට  ගෝනියෙ රතු පාටට හිරු එළිය වැදිලා ඒක ඇස් වලට පරාවර්තනය වෙලා වෙන්න ඇති."

මං වෙනදා වගේම ඒක විශ්වාස කළා.

මතු සම්බන්ධයි .....

4 comments:

  1. නෙතින් සොයන ඒ සෙනෙහස කුමක්දෝ
    හඩින් කෑ ගසා කියන්න හිත නැතිදෝ
    රතින් දිලෙන නෙත සරදම් දමයිදෝ
    ඉතින් සිහින නෙත් නුඹ වෙත ලැබෙයිදෝ......

    සඳවතිය. කතාවනම් ලස්සනට යනවා. 'ඇස්' ඊට ගැළපෙනම නමක්. ඉතින් කියවද්දි එන හැඟීම තමයි මගෙ අතින් මේ කවියකට පෙරලෙන්නේ. ඒ තරම්ම ආසවෙන් කියවන්නෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි දුමී හැමදාමත් අමතක නොකර අහසට ඇවිදින් රස කවියකින් සංග්‍රහ කරනවට....

      Delete
  2. ස්තුතියි මිතිල ....

    ReplyDelete

පළමු අරවින්දය

නෙතු නුඹේ මුණගැසුණු ස්නේහයේ ක්ෂිතිජ ඉම සංසාර මඳ නලක පටලැවුණු සුසුම් රොද දුර පේන හීන කඳු වලට එපිටින් ඉගිල අද වාගෙමයි හෙට...