Sunday, June 11, 2017

ඇස්

ඇලපිලි, ඉස්පිලි, පාපිලි නැතුව වචන ලියුවම ඒ වචනවල තේරුම  තේරුම් ගන්න අමාරුයි .මිනිස්සුන්ගෙ ඇස් වලින් කියවෙන වචනත් හරියට ඒ වගේ. කටින් වචනයක්වත් පිට නොකර ඇස්වලින් දාහක් දේවල් කියන මිනිස්සු හරිම භයානකයි .  ඒ ඇස්වල    හැංගිච්ච දේවල් වලට අපි එක එක වෙලාවට එක එක විදිහෙ නම් කිව්වට ඒ හැමදේටම තියෙන්නේ එකම හේතුවයි.විසඳගන්න බැරි, ලෙහා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එකපෙළට අඩුක් කරපු මූණත් තහඩුවල නිවි නිවී දැල්වෙන සංඥා ආලෝක දෙක හැමවෙලාවෙම පේවෙලා ඉන්නෙ අන්න ඒ හේතුව වෙනුවෙන් .

එයා ඒකට කිව්වේ තණ්හාව කියලා . මගේ ඇස් දෙකත් ,එයාගෙ ඇස් දෙකත් එකට යාවුණු මුල්ම දවසෙ,ඒ ඇහේ ඉඳලා මතුවෙලා ආපු තණ්හා රේඛාව මේ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාවත් එක්ක එකතු වෙලා බන්ධනයක් ගොඩ නැගුවා. රේඛා දෙක යාවුණු තැන හොයාගන්නත් බැරි විදිහෙ බිඳින්න බැරි බන්ධනයක් .

සෙනසුරාදා උපකාරක පන්තිය ඉවරවෙලා රොටරියෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් එළියට ඇවිත් මාකට් එක ලඟින් වැටුණු පාරදිගේ යනකොටයි මං එයාව මුලින්ම දැක්කෙ. එයාගෙ එක උරහිසක දුඹුරු පාට පොත් බෑග් එක. අනිත් උරහිසේ ගෑණු ළමයගෙ ඔළුව. ඒ දෙන්නගෙ දෑත් තදින් පැටලිලයි තිබුණෙ . ගෑණු ළමයා තොරතෝංචියක් නැතුව මොනවාදෝ කියමින් හිටියා . එයා හිස් බැල්මකින් බලාගෙන හිටියා . ඒක ඒතරම් දුර්ලභ දර්ශනයක් නොවෙන නිසා මගේ අවධානය තත්පර කිහිපයකට වඩා එතන රැඳුණෙ නෑ.

ප්‍රධාන පාරට හැරිලා පාර පැනලා පල්ලිය එහා පැත්තේ තිබුණු සුකුරුත්තන් ආභරණ සාප්පුවට ගොඩවැදුනේ යෙහෙළියකට උපන්දින තෑග්ගක් ගන්න . අනං මනං විසිතුරු ආභරණ අතර ඇවිදලා හිතට අල්ලන යමක් තෝරාගන්න හිතාගන්න බැරි වෙලාවක් ගතවුණා. කවුන්ටරය ලඟට එද්දි එයාත් එතන හිටියා . කලින් සැලසුම් කරලා තිබුණා වගේ එයත් එකපාරටම හැරිලා මා දිහා බැලුවා .එයාගෙ උස මහත දේහය, පැහැපත් පෙනුම ,අක්බඹරු හිසකෙස්, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් , ගැහැණු ළමයෙකුගෙ වගේ රෝසපාට තොල් ,රෝම පිරුණු ශක්තිමත් බාහු කියන කිසිම දෙයක් මගේ ඇස් වලට විෂය වුණේ නෑ.ඒ වෙනුවට මං දැක්කෙ ඒ ඇස් දෙක විතරමයි. කොළ පාට ඇස්.... කාටවත්ම නොතිබුණු කොළපාට ඇස් මාව මෝහනය කර ගත්තා .  මාත් බලාගෙන හිටියා , ඒ ඇහේ හැම සියුම් චලනයක් දිහාම .....

එදා ඉඳන් හැම සෙනසුරාදාවකම  ඒ ඇස්දෙක දකින්න මං මඟබලාගෙන හිටියා . මාකට් එක ලඟ, සරසවියෙදි, සුකුරුත්තන් බඩු සාප්පුවෙදි, ගුවන් පාලම යටින් පාර පනින කොට, බෝ ගහ යටදි, කොහුවල හන්දියට එන අතරතුර , ඔය ⁣ඕනම තැනකදි ඒ ඇස් දෙක මුණගැහෙයි කියලා මං බලාපොරොත්තු වුණා . ඒ බැල්ම මඟහැරේවිද කියලා මං බයවුණා . එයා ගොඩක් වෙලාවට හිටියෙ ගෑණු ළමයා එක්ක . තනියම හිටපු වෙලාවට වුණත් එයා එක්ක කතාකරන්න ඇත්නම් කියලා මට කවදාවත් හිතුණෙ නෑ. ඒ විදිහට බලා ඉන්නවා ඇරෙන්න එයා මං එක්ක කතා කලෙත් නෑ. එයා කතා කලත් මට කියන්න දෙයක් තිබුණෙත් නෑ. කොටින්ම මං එයාගෙ නම මොකක්ද කියලාවත් දැනගෙන හිටියෙ නෑ.

මගේ බලාපොරොත්තු ගැන කවුරුහරි දැනගෙන හිටියා නම් හිතන්න තිබුණා වෙන ගෑණු ළමයෙක්ට අයිති කෙනෙක්ව බලන්න කැමති වෙන එක මොන තරම් නැහැදුණුකමක්ද කියලා. ඒත් මට ඒ දෙන්නා ගැන අඹමල් රේණුවක ඊර්ෂ්‍යාවක් තිබුණෙ නෑ. එයාව අයිති කර ගන්න වුවමනා වුණෙත් නෑ. මං බලාපොරොත්තු වුණේ ඒ ඇස් දෙකේ බැල්ම විතරයි .ඒ බලාපොරොත්තුවට නමක් දෙන්න මං තාමත් දන්නෙ නෑ.

දින, සති, මාස වෙලා අවුරුද්දක්ම ගෙවුණා. සෙනසුරාදා පන්තියට නිවාඩු දුන්නා. නිවාඩු දුන්නා කියන්නෙ නිවාඩු දුන්නා මිසක් නැවැත්තුවා නෙමෙයි. මොකද සර් දැනගෙන හිටියා මං වගේ ඒ වෙනකොටත් දෙවනිපාරට උසස්පෙළ කරන්න තීරණය කරලා තිබුණු අයට පළවෙනි පාර විභාගය කරලා, අඬලා,දොඩලා, ආයෙ අලුතින්ම “කැම්පස් යාමෙන් මිසක මාගේ උත්සාහය අත් නොහරිමි” වගේ ධනාත්මක චින්තන බෝඩ් කෑල්ලක් මේසෙ ඉස්සරහා එල්ලලා(පරණ එක ගලවලා ඉරලා විසි කරලා) සුපුරුදු පරිදි පන්ති එන්න නිවාඩුවක් ඕනෙ කියලා.  ඊටපස්සෙ විභාගෙ ලියලා මං ආයෙ පන්ති ආවා. ඒත් ඒ ඇස් දෙක ආයෙමත් දැක්කෙ නෑ. ඒ වෙනුවට කළුපාට, අළු පාට ඇස් හැමදාමත් දැක්කා. කලාතුරකින් නිල් පාට ඇස් පවා දැක්කා . ඒත් තණ්හා රේඛාව පොඩ්ඩක්වත් ඇහෙන් එළියට ආවෙ නෑ.

දෙවනිපාරට විභාගෙ කලාම මං පාස් වෙලා තිබුණා . ඒත්  ඉසෙඩ් අගය මදි කියලා කැම්පස් එක ලැබුණෙ වියළි කලාපෙන්. රොබරෝසියා මල් ගැනයි, සීතල කඳු ගැනයි කවි ලියන්න හිතං හිටපු හීනෙ අත් හැරලා තාත්තා එපා කියද්දි මං කැම්පස් ආවා.මට ඕනෙ වෙලා තිබුණෙ ගෙදරින් ඈත් වෙන්න . තාත්තගෙ පළවෙනි කසාදෙ ළමයා කියන කැළල හැමතිස්සෙම පස්සෙන් එන එකෙන් මිදෙන්න . ඒ නිදහස විඳින්නට ලැබුණෙ හරියටම සතියයි .මං ආයෙමත් ඒ කොළපාට ඇස් දෙක දැක්කා .

“ හ්ම් දණගහගනිල්ලා ඔක්කොම එවුං”

 ඇස්දෙකට පහළින් තිබුණු දිගටි නහය පහුකරගෙන ඒ කට දිහා මං බයෙන් බැලුවා .

 “ඇයි මොකද උඹට වෙනම කියන්න ඕනෙද?”

මට බයටම දණ ගැහුණා. ඉන්පස්සේ මොන මොනවාදෝ කිව්වා . මාත් අනිත් අයට එකතුවුණා. ඒත් මගෙ ඇස් දෙක ඒ ඇස්වලින් මිදුණෙ නෑ. මේ ඒ ඇස් දෙකම තමයි. ඒත් මේ එයාමද? කෙට්ටු වෙලා හිටපු එයාගෙ  මුහුණ පුරාම රැවුල වවාගෙන, කොණ්ඩෙ වවලා පුංචි පෝනිටේල් එකක් දාලා තිබුණා . රෝස පාට තොල් කළු පාට වෙලා. එක අතක මහපට ඇඟිල්ලෙ නියපොත්ත දිගට වවලා.ඒ ඇස් මගේ ඇස් දිහා බැලුවෙ නෑ. හදවත හිරවෙලා වගේ දැනුණා .

රැග් සීසන් එක ඉවරවුණාම අනිත් සීනියර්ස්ලා හැමෝම අපිත් එක්ක පණ දෙන්න වගේ කතා කරද්දි එයා මඟඇරලා ගියා. ඒත් බැච් එකේ කෙල්ලො හැමෝම එයාට වශී වෙලා හිටියෙ. එයාගෙ කාඩ් එක මැක්කා. යාළුවො කිව්වේ මැකී කියලා. මැකීව දැලේ දාගන්න ඕනෙ වුණේ මගෙ රූම් මේට්  ඕෂධීට.

" මාර පර්සනලිටි එකක් බං. කලම්බු සිලෙක්ට් වෙලත් එෆෙයාර් එක බ්රේක් අප් වුණු නිසාලු මෙහෙ ඇවිත් තියෙන්නේ . පිට පිට සෙමෙස්ටර් දෙකකම බැච් ටොප්ලු."

" ඉතිං ?  "

 මතු සම්බන්ධයි .

16 comments:

  1. ඒක ඉක්මනට ඉවරවෙන කතාවක් නෙමෙයි වගේ. දිගට දිගේ ඇදිලා යන එකක්. කතාව ගලාගන යනවිදිහ , ලිවීමේ රටාව මට රහයි.

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුසු . ආදරයෙන් අහසට පිළිගන්නවා .

      Delete
  2. ඔන්න ඔන්න ඉතින්.... අපිටත් ඉයාව් කියවෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා, ආදරයෙන් අහසට පිළිගන්නවා .

      Delete
  3. අනික් කොටහා දානකන් බලන් ඉන්නවා... නියමෙට ලියලා තියෙනවා ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතිල , අපි බලමු.

      Delete
  4. නෙතක් කරන බැල්මට හද බැඳෙන තරම්
    මතක් වුණත් දැනෙනා සුව අහස තරම්
    ලොවක් නොමැත ඒ නෙත් දෙක වටින තරම්
    නමක් නොවුණු ඒ බැඳීම සසර තරම්......

    සඳවතියගේ කතාව රහට පටන් අරන් රහට ගලාගෙන යනවා. අපූරුයි. බලමු ඉදිරියටත්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී. වෙනදා වගේම රස කවියටත් තුති . ජයවේවා ඔබටත්!

      Delete
  5. මේක මිස් වෙලා. දෙවෙනි කොටස කියවනකොට ඒක ගති නිසා භාගෙට නවත්වලා මේකට ආවා. ඔබේ කථා ලියන විලාසයනම් නියමයි.

    ReplyDelete
  6. මේ අර ලිංතොට මාමගෙ ඔත්තුවකට ආවෙ. උන්නැහැ මේ දවස්වල රට පුරාම අඬබෙරේ ගහනව. කර්ණාකරල මෙව්වා අර බුකියෙ තියෙන "බ්ලොග් වසංගතය" ගෲප් එකේ එහෙම දාන්න. නැත්තං අපිට මාට්ටු වෙනව කොදුයි. ජයවේවායි පතමු!

    ReplyDelete
  7. ඔන්න ඉයන් පෙනපු පාර දිගේ මෙහෙ ආවේ.අප්පා පිස්සු හැදෙනෝ ඔය නුගේගොඩදිම මමත් එකතරා කාලයක් නිල් පාට ඇස් දෙකකට වහ වැටුනා. ඉඩක් තිබුනොත් එහෙත් ඇවිත් කියවලා බලන්නකෝ ...

    ReplyDelete
  8. ඔන්න ඉයන් පෙන්නපු පාර දිගේ ආවා ඇස් බලන්න. කතා කරන ඇස්

    ReplyDelete
  9. ලස්සන කතාවක් වගේ.

    ReplyDelete

පළමු අරවින්දය

නෙතු නුඹේ මුණගැසුණු ස්නේහයේ ක්ෂිතිජ ඉම සංසාර මඳ නලක පටලැවුණු සුසුම් රොද දුර පේන හීන කඳු වලට එපිටින් ඉගිල අද වාගෙමයි හෙට...