Thursday, May 11, 2017

අහසක ඇරඹුම

 අද තමයි දවස කියලා හිතුණට අදමද දවස කියලා ආයෙ ආයෙමත් කල්පනා කළා. සෙනඟ පිරුණු දුම්රියක මහත ‍දෙහෙත බවලතුන්  දෙදෙනෙකුට මැදිවෙලා දුම්රිය යන තාලයට ඒ පැත්තට මේ පැත්තට පැද්දි පැද්දි යන අතරෙ බ්ලොග් අඩවියක පළමු පෝස්ටුව ලිවීමත් ඇත්තටම සොඳුරු අත්දැකීමක් තමයි.දුම්රිය කවුළුව‍ෙන් පෙනෙන පලා පැහැ වෙල්යායවල් , නීල හරිත වනපියස,මැටි ගෙවල්,කොන්ක්‍රීට් මන්දිර, පුංචි අඩිපාරවල්, ලොකු තාර පාරවල්, මිනිස්සුන්ගෙ බලාපොරොත්තුවෙන් පිරුණු දෑස්, උඩුබුරලන බල්ලන්, පොලතින් කන ගවයන්, හේතුවක් නැතිවම කරව් කරන කපුටු රෑන් වගේ  නිරතුරුවම වෙනස්වෙන දර්ශන පෙළ සිතුවිලි  සිනමාපටවලට තිර පිටපත් ලියලා ඒවා නිශ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළා.ඒත් ඉතිං ඒවා ප්‍රදර්ශනය කරන්නට කලින් රැඟුම් පාලක මණ්ඩලයෙන් බාධා පැමිණුනා.

"පුතේ කෑවද ඔයා?"
" ඔය ඉඳගෙන ඉන්න  තැන හොඳද?"
" අද හරියට සෙනඟ   නේද ?"
" ඊලඟට  කට්ටිය   බැස්සම  හොඳ තැනකට  යන්න ."
" ජනෙල්  ගාව සීට් එකක් නැද්ද ? ලඟ වාඩිවෙලා යන්නෙ  ගෑණු  කෙනෙක්ද?"

 ඉතිං හැම  ප්‍රශ්නයටම පිළිතුරු  සපයලා ආයෙමත් වැඩට බහින කොට දුම්රියේ  වේගය මගේ දර්ශන තල ටික සොරා ගෙන හමාරයි .

සඳවතිය හේතුවක් නැතුවම  හිනාවුණා . ඉස්ටේසමත් සඳවතියට සමච්චල් හිනාවක් දැම්මා. පිරිසක් දුම්රියට නගිනකොට තව පිරිසක් දුම්රියෙන් බහිනවා. දෙපිරිසම  බොහොම කලබලයි. හරියට  මේ තමයි ජීවත්  වෙන්න තියෙන අන්තිම  තත්පරය වගේ ....  ජීවත් වෙන්න කැමති මිනිස්සුන්ට තමයි ජීවිතය  කෙටියි කියලා දැනෙන්නෙ . කවුරු හරි එහෙම කතාවක් කිව්ව බවට මතකයක් තියෙනවා . ඒත්  මං නම්  කියන්නෙ  ජීවිතය  මහ    ගොඩක් දිගයි යාළුවා .....  කලබල වුණොත් ඒ දිගු කාලය පුරාවටම අපිට දුව දුව ඉන්න  වෙයි. අන්තිමට හති අරින්නවත් කාලයක් නැතුව මැරිලා යන්න  සිද්දවෙයි. 

ටිකක් නැවතිලා අවට බලන්න .  ගහක් යට වාඩිවෙලා ගිමන් නිවන්න. මලක, කොලයක , ගලක, පිනි බිඳුවක හැඩය බලන්න. දිය දහරක සිසිල විඳින්න .  ⁣විහඟ ගීතයක වචන වෙන්න . මහ ගල්පර තරණය කරන්න . පිදුරු ගොඩක් උඩට වෙලා සැපට නිදාගන්න . මේ ලෝකය මහ විසාලයි. ඔබ දුවන්නෙ  එකම තැන  වෙන්නත් පුළුවන් . ඉතිං ටිකකට නවතින්න... එහෙනම් ඊලඟ  පෝස්ටුවෙන් හමුවෙමු . සඳවතිය  නිශාව පැමිණෙනතුරු අහස් ගැබ සැඟවෙනවා.... සොඳුරු දිනයක්....


7 comments:

  1. බ්ලොග් අහසේ බැබලෙන්නට සඳවතියට ශක්තිය ධෛර්යය ලැබේවා..!
    ජය වේවා සුබ වේවා!!

    ReplyDelete
    Replies
    1. පළමු පෝස්ටුවට පළමු කමෙන්ටුව මඩයාගෙන් ... ස්තුතියි ගොඩාරියක්...

      Delete
    2. අඩේ මේ අපේ මෙතූ නේ සඳවතිය වෙලා තියෙන්නේ

      Delete
  2. දහසකුත් දෑ හිතේ ගුලිවී ගෙවන දිවියම හරි බරයි
    පහස ලබනට සොබා සිරියම විඳින්නට මේ හිත ප්‍රියයි
    රහස නොදනිමි මුල්ම ලිපියේ පිරී ඉතිරී යන රසයි
    අහස සනහන සඳවතිය දැක කවි කියන්නට මට හිතයි.....

    බ්ලොග් ලෝකයෙ දිගටම රැඳෙන්න සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරිම රසවත් කවියක් ..... ගොඩාරියක් ස්තුතියි දුමී.....

      Delete
  3. ලස්සන ලියවිල්ල, බ්ලොග් ලෝකයට welcome සඳවතිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් . ආදරයෙන් අහසට පිළිගන්නවා ....

      Delete

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...