Sunday, July 9, 2017

කවිය




වුවමනා පමණින් 
වර්ණ ගැන්වූ
ජීවිත හැඩතල අතර,
හමා ගිය සුසුම් 
වර්ෂාවට තෙමුණු ,
මගෙම නොවන,
පෙර දිනකද නොවූ,
පසුවද නොවන,
අශිෂ්ඨ කවිය ,
 හිත් පියස්සෙන් වැගිරෙන 
ස්නේහ බිඳු අතරින් 
එක දෙකක,
ඔබෙ නමද
කෙටියෙන් ලියා ඇත.....

Thursday, July 6, 2017

සිහින හාදු



"නවතන්න නවතන්න මයි ඒන්ජල්...."

එහෙම කියන්නෙ ක්‍රිශ්ණන්. එයා දන්න සිංහල ! ඒ වුණාට සිංහලෙන්මයි කතාව . මං කැමති එයාගෙ ලස්සන කළු පාට හමට. ඝන උඩු රැවුලටත් කැමතියි . මුහුණෙ සුදට පෙනුණු එකම දෙය විරිත්තන කොට පේන දත් ටික .

" අනේ හරි අවංක හිනාව "

අම්මා කියන්නෙ මං දිහා අමුතුවට බලන ගමන්. මං බොරු තරහක් පෙන්නන්නෙ මං ක්‍රිශ්ණන්ට කැමති වග අම්මට නොතේරෙන්න. ඒත් අම්මා දන්නවා මගේ හිත . එයා මගේ  ගණිත ගුරුතුමාගේ පුතා . අපි ඉගෙනගත්තෙ එකම පන්තිවල. අප්පා නැති වුණාම අපි අම්මලගෙ මහ ගෙදර ආවා . ඒ නිසා කාලෙකට එයාව ඇසුරු කරන්න ලැබුණෙ නෑ. ඒත් අහම්බයකින් වගේ එයා ආයෙමත් මගේ ජීවිතේට ආවා.එයා ලඟදි මං කණාමැදිරියෙක් වගෙයි. එයාට ඉර වෙන්න බැරි වුණාට මං දන්නවා තරුවක් හරි වෙයි කියලා .

අප්පා හිටියා නම් හරි සතුටු වෙන්න තිබුණා . එහෙම වුණා නම් අපි තාමත් වැල්ලවත්තේ  ඉන්නවා . ක්‍රිශ්ණන් එක්ක එකටම හැදිලා වැඩිලා එයා ආශ්වාස ප්‍රශ්වාස කරපු සුළඟම මාත් හුස්ම ගන්න තිබුණා . ඒත් කවුද දන්නෙ එයාගෙ ප්‍රශ්වාසයක් ඈත ඉඳන් ඇවිදින් මගේ ආශ්වාසයක් බවට එකම වරක් හරි පත්වුණාද කියලා ....

👣               👣                       👣


පංචලී සිවසුබ්‍රමනියම් , ඉස්සර මගේ ක්ලාස් මේට් කෙනෙක් . එයාගෙ අප්පා ටැමිල් . අම්මා සිංහලම්. එයාලා සර්නේම් එක දානවා ඉස්සරහට තමයි. අපේ කෙනෙක් වුණා නම් එයා සිවසුබ්‍රමනියම් පංචලී . එයාගෙ නම ලස්සනයි . එයත් ලස්සනයි  ඒ වගේම. එයාගෙ සිංහල අම්මා ගොඩක් ලස්සනයි . ඒ නිසා තමා සිවසුබ්‍රමනියම් අන්කල් ආස වෙලා තියෙන්නේ . එයාලා ලව් මැරෙජ්. මාත් ආස ලව් මැරෙජ් තමයි. ඒත් මගේ අප්පා තමා ඒකට ආස නැත්තෙ .

පංචලී මට ආයෙ හම්බුණා  එච් එස් බී සී එකේ වැඩ කරන්න තමා ආවම. පොඩි කාලෙ වගේ නෙමේ. දැන් එයාව දක්කම ආස හිතෙනවා . එයා ඕනෙ හිතෙනවා .  මට ෂුවර් එයා ඒක දන්නවා . ඒ වුණත් දන්නෙ නෑ වගේ ඉන්නවා . හරි ගණන් තමා. ඒ් වුණාට මං කෝම හරි එයාවත් මට ආස කර ගන්නවා .

එයාගෙ කතා අමුතුයි . ඇස් අමුතුයි. කකුලේ තියෙන ටැටූ එකත් අමුතුයි  .අමුතුයි වචනෙ ඊයෙ තමා ඉගෙනගත්තා . සිංහල ටික ටික දන්නවා . සිංහල කතා කරන්න ආසයි. කලම්බු ඉඳලත් සිංහල බෑ කියලා  පංචලී මට හිනා වෙනවා.  එයා අම්මා වගේ පන්සල් තමා යනවා. කෝවිල් යන්න ආස නැහැ. ඔය බෙරු කියනවා. ඒකත් පිරච්චනෛ තමා. ඒ වුණත්  එයා තමා මගේ කෙනා. ආස වෙලා ඉන්නවා . මෙනවා වුණත් ඉන්නවා .


                                           👣                                👣                       👣

  අපි හරි වෙනස් කියලයි පංචලී  හැම වෙලාවෙම කියන්නෙ . අහසයි පොළවයි එකතු කරන්න බෑ වගේ කතා කියලා මගේ හිත  බිඳින්නමයි බලන්නෙ . මේ  නපුරු කෙල්ලට  මගේ හිත මෙහෙම ඇදිලා ගියෙ කොහොමද කියලා මටත් හිතාගන්න බෑ. මට වඩා අර දෙමළා ගැනයි ලොකුවට හිතන් ඉන්නෙ . දුවත් අම්මා වගේම තමයි.

අපේ හමුවීමම එයා දකින්නේ අවාසනාවක් විදිහට. එයාව හමුවුණාට පස්සෙ මං වෙනස්ම පුද්ගලයෙක් වුණා . ඒකම තමයි මං එයාට මේ තරම් ආදරය කරන්න  හේතුවත්...සඳසි මගේ ජීවිතේ ඉන්න එකයි, මට පංචලීව හිමි කර ගන්න  බැරි එකම හේතුව. සඳසි මගේ තාත්තිගෙ යාළුවගෙ එකම දුව . අපි දෙන්නගෙ විවාහය තීන්දු කරලා තියෙන්නේ ජයසිංහ අන්කල්ගෙ අන්තිම කැමැත්ත විදිහට . මේ  මිනිස්සු මැරිලාවත් අනුන්ට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ. සඳසිත් බඩගිනි වෙච්ච පූසියෙක් වගේ මගේ පස්සෙන්ම වැටිලා ඉන්නවා . එයා හිතන්නේ දැනටමත් අපි දෙන්නා මැරි කරලා කියලා.

පංචලී කියන්නෙ මගෙ හිත නිවන්න පුළුවන් විදිහෙ කෙල්ලක් නෙමෙයි . ඒත් එයා ඉන්නකොට මගේ ජීවිතේ පිරිලා . එයාගෙ දඟකාර හිනාව, නවත්තන්නෙ නැති කතාව මාව මුලා කරගෙන ..... මේ හදවතේ අගට හීනියට අනින පිහිතුඩ තමයි පංචලී . පපුවේ හිස තියාගෙන සඳසි ඇඬුවත් ඒ කඳුළු ඉක්මනටම වියළිලා යයි. ඒත් පිහිතුඩේ වේදනාව හැමදාමත් දැනෙයි.

👣                  👣                   👣 


අශේන් ........  මගේ  ෆියුචර් හස්බන්ඩ් . මගේ මුළු ජීවිතේම එයා තමයි. අප්පච්චි නැති වුණාට  පස්සෙ බිස්නස් වල අප්පචිගෙ කොටසත් කරට අරගෙන කරලා සතයක්වත් අඩු නොකර ශෙයා එක අම්මට ගෙනත් දුන්නෙ  සේන අන්කල් . ඉතිං  සේන අන්කල් වගේ කෙනෙකුගේ පුතාව මැරි කරන එක තරම් වාසනාවක්  වෙන කොයින්ද? මට පුළුවන් හැම  විදියටම එයාව සතුටින් තියන එක තමයි මගේ වගකීම . නෙක්ස්ට් ඉයර් මේ වලට තමයි වෙඩින් එකේ  ඩෙට් ෆික්ස් කරලා තියෙන්නේ . එයත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න මං ඇඟිලි ගැන ගැන බලන් ඉන්නවා .

පවුලෙ එකම ළමයා වුණේ මම. අප්පච්චි අම්මවයි මාවයි අත්හැරලා දිව්‍ය ලෝකෙට ගිය දවස මට මතක නෑ. මං අම්මට කීකරු දුවෙක් වුණා . කවදාහරි අශේන්ටත් කීකරු වයිෆ් කෙනෙක් වෙනවා. එයාට කම්පනි එකේ ගොඩක් වැඩ තියෙනවා . ඉතිං මාත් ජොබ් එකක් කලොත් අපි දෙන්නගෙ ජීවිතේ සාර්ථක වෙන එකක් නෑ. ඒ නිසා මං කැමති හවුස් වයිෆ් කෙනෙක් වෙන්න . එහෙම වුණාම එයාගෙ හැමදෙයක්ම මගේම අත් දෙකෙන් කරලා දෙන්න පුළුවන් .

අශේන් කොයිතරම්  හොඳ කෙනෙක්ද කියන්නෙ එයා තාම මට කිස් එකක්වත් දීලා නෑ. මං දවසක් බලෙන්ම එයාගෙ අත අල්ලගත්ත වෙලාවෙ ඇරෙන්න අතින් වත් අල්ලලා නෑ.එයාගෙ ඒ ඩිසිප්ලීන් වලට මං ගොඩක් රෙස්පෙක්ට් කරනවා.



මතු සම්බන්ධයි .




Saturday, July 1, 2017

නුඹ එනවද...


සුදු තඹර පෙති මත
හිමිදිරියෙ දිලි පිණි පොද
වෙන්න ආසයි මට
සබඳ නුඹ එනවද
තෙමෙන්නට 
පිණි වැස්සක 
ඒ කුසුම් පෙති මුල 
මකරන්දයෙන් නැහැවි  රොන් සුණු 
වෙන්න ආසයි මට
සබඳ නුඹ එනවද 
බඳින්නට මී
එරොන් බිඳු ගෙන
එරොන් සුණු කැටි වූ
පීත පැහැ මුදු  රේණු අතරේ 
පවන වෙනු ආසයි මට
සබඳ නුඹ එනවද
විඳින්නට 
පවනේ සුවඳ පොද

Sunday, June 25, 2017

අතීතය සිහිනයක් පමණයි



අතීතය කියන්නෙ පැසවපු තුවාලයක් කියලා මං හිතපු කාලයක් තිබුණා . ඒ වර්තමානය අතීතය විසින් නිර්මාණය කල බව මං දැඩිව විශ්වාස කරපු නිසා. ජීවත් වෙනවද මැරෙනවද කියලා හිත හිත කඳුලින්ම ගත කරපු දවස් තිබුණා . ඒත් තාමත් මං ජීවත් වෙනවා.අඬන්නෙ නැතුව හිනාවෙන්න මට පුළුවන් වුණු නිසයි ඒ..

විවිධ මිනිස්සු ජීවිතේ දිහා බලන විදිහ විවිධාකාරයි.ඒ නිසාම අනිත් අය අපි හිතන විදිහටම හිතයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි .

"ඔයාට මොනවද ඔයතරමටම තියෙන ප්‍රශ්න ?"

" ප්‍රශ්න කියන දේවල් කාටත් තියෙනවා . ඕවා ගැන වැඩිය හිතන්න යන්න හොඳ නෑ"

"මෙයාට පිස්සු . මෙයා හිතන් ඉන්නෙ ලෝකෙ ඉන්න ප්‍රශ්න වැඩිම කෙනා මෙයා කියලා ."

මේ වගේ කතා ඕනෙම කෙනෙකුට කියන්න පුළුවන් . දහස් ගණනක් ධනාත්මක චින්තන පොත් ලියන්න පුළුවන් .ඒත් වෙන කෙනෙක් හිතන විදිහ තෙරුම් ගන්න එක අමාරු දෙයක්. "මට ඔයාව තෙරුම් ගන්න පුළුවන්" කියලා මුළු හදවතින්ම ⁣අවංකව කෙනෙකුට කියන්න පුළුවන් නම්, ඒක විශ්වාස කරන්න සලස්වන්න පුළුවන් නම්, ඒ පුද්ගලයා බොහොම වටින කෙනෙක් .

ඒත් මට නම් හිතෙන්නේ හිතක් බිඳුණු , පසුතැවෙමින්  , දුකින් ඉන්න කෙනෙකුට  අවශ්‍ය කරන්නෙ හිත හදන්න පුළුවන් , තමන්ව සනසවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හොඳ අසන්නෙක් විතරමයි . වෙනත් කෙනෙකුට තව කෙනෙකුගේ ජීවණ ගැටලු , ගැටලුව ඇති තැනැත්තාට ගැලපෙන විදිහට විසඳා දීමේ හැකියාවක් නෑ. ඔබ මේ අයුරින් කරන්න යයි කීමෙන් ඵලක් නෑ. අවශ්‍ය වෙන්නෙ නිවැරැදිව ගැටලුව හඳුනාගැනීමට සහය වීම පමණයි .

අවාසනාවකට අප බොහෝ දෙනෙකුට මේ කාර්යබහුල ජීවණ රටාවක් සමඟ හොඳ අසන්නන් වීමට නොහැකි වෙලා තියෙනවා . අපේ පවුලේ අය ගැන පවා, ඔවුන්ගේ ගැටලු ගැන , ඔවුන් සිතන දේ ගැන අපට අවබෝධයක් තියෙනවද කියලා අපෙන්ම ප්‍රශ්න කරන්නට කාලය උදාවෙලා.

අතීතය කෙනෙකුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නෙ හදිසි ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදියෙක් වගේ . සමහරවිටක ඔහුව සදහටම නිහඬ කළ යුතු වෙනවා. නමුත් කෙතරම් පහර කෑවත් ඔහුට පෙම් නොකරන්නටත් සිත ඉඩ දෙන්නෙ නෑ. අසන්නෙකු අවැසි වන්නේ ඒ මොහොතෙදියි. අතීතය සිහිනයක් පමණක් බව අපට සිහිගන්වන්නේ ඒ අසන්නා විසිනුයි. වත්මනේ සුගන්ධය දැනෙන්නට පටන් ගන්නේ එවිටයි. වාසනාවකට මටත් එවැනි දයාබර  අ⁣සන්නෙක් මුණ ගැසුණා.  ඔබත් වාසනාවන්ත නම්  ඔබටත් එවැනි අසන්නෙක් ඔබේ දිවියේ ඉන්නවා ඇති. ඒ සියලු දෙනාටම පිරිනමමු තුති කුසුමක්.....

Monday, June 19, 2017

සබඳ



දන්නවද හදවතක්
නෙත් වලින් ගලන්නේ 
උණුසුම්ම වූ මොහොතකයි ....
කඳුළු මල් පිපී
සුසුම් සුළඟේ රඟන 
ගිනියම්ම මොහොතකයි ....
ජීවිතේ මේඝයන් 
තනිව ඉවසා දරා
මහා ගිරිශිඛර අතරින් 
ගලායන නදිය සේ
අවැසිම වු මොහොතකයි ...

Friday, June 16, 2017

ඇස් ( අවසන් කොටස)


ඇස් (පළමු කොටස)

 ඇස් (දෙවන කොටස)

ආයෙමත් ඒ හදවත විනිවිදින බැල්ම !  මට ඉබේටම බිල්ලා දිහා බැලුණා. බිල්ලගෙ දුඹුරු පාට ඇස් රතු පාට වෙලා තිබුණා .

"ඔයාගෙ ඇස් අමුතු වෙලා. ඇයි ඔහොම බලන්නේ ?"

"බාග වෙලාවට  ගෝනියෙ රතු පාටට හිරු එළිය වැදිලා ඒක ඇස් වලට පරාවර්තනය වෙලා වෙන්න ඇති."

මං වෙනදා වගේම ඒක විශ්වාස කළා.

ඔව්. මට ඒ කොළපාට ඇස් මුණගැහුණා .ඉස්සර කියපු කතා වලට වඩා හාත්පසින්ම වෙනස් කතා ඒ ඇස් දෙකෙන් කියවෙයි කියලා මං බලාපොරොත්තු වුණේ නෑ කියලා කිව්වොත්, ඒක බොරුවක්. ඒත්  ඒ ඇස්වල දිලිසීම අඩු වැඩි වුණා මිසක වෙන කිසි දෙයක් මට දකින්න ලැබුණෙ නෑ .කැම්පස් එකේ අවුරුදු උත්සවේ දවස්වල  මං හිතේ හැටියට ඒ බැල්ම විඳ ගත්තා . බිල්ලත් කවදාවත් නැතුව අවුරුදු උත්සවේට ඇවිත් හිටියා . එයා කිව්වේ ඒක එයාගෙ  ෆයිනල් ඉයර් එක නිසා මඟ හරින්න බෑ කියලා . මැකීටත් ඒක එහෙමම තමයි. මැකී කණා මුට්ටිය බිඳිනකොට ,බිල්ලා එයාගෙ ගෝනියත් අරන් ගෝනි පැනීමේ තරඟෙට ගිහිං තිබුණා . එයා ඒ තරඟෙන් පළවෙනියා වුණා . ඒත් අන්තිමට සංවිධායකයො  තෑග්ග දෙන්න හොයනකොට , බිල්ලා  තරඟෙ දිනුවෙ එන් ජී ඕ එකකින් දීපු තහනම් උත්තේජක අරගෙනයි  කියලා ආරංචි වුණා . ඉතිං පැනපු පැනිල්ලට නතර වෙලා තිබුණෙ ඇමරිකාවෙ.


බිල්ලා  ගිහිං තිබුණෙ එයාගෙ  ගෝනියත් අත්හැරලා . පිට පෙනුම රතු පාට වුණාට ඇතුළත තිබුණු අකුරු වලින්  ඔප්පු වුණේ ඒක රට හාල් ගෝනියක් බව . මං ඒක එතනම දාලා එන්න ආවා. පස්සෙ මං දැක්කා අපේ ජූනියර් බැච් එකේ තණකොළ පෙත්තා ගෝනියට බැහැලා ඉන්නවා . ඕෂධී මගේ ඇඟිල්ලෙ තිබුණු මුද්ද ගලවලා විසි කළා . ඒක පිත්තල මුද්දක් නිසා මට දුක හිතුණෙත් නෑ.ටික කාලෙකින් මට අසනීප වුණා . කරකැවිල්ලක් හැදිලා අප්පිරියාවකුත් ආවා.බැරිම තැන මං ගෙදර ගියා .


" අර ගෑණිගෙ ලේනෙ. ඔහොම දෙයක් නොකර ගත්තොත් තමා පුදුමෙ."


එහෙම කිව්වෙ කුඩම්මා .තාත්තා මාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගියා .එයා ඔපරේෂන් එකක් කලා. පස්සෙ කිව්වා , අසනීප වුණේ මගේ බඩේ ගෝනි කෑල්ලක් තිබුණු නිසයි, ඒක අයින් කරලා දැම්මයි කියලා . ගෝනිකෑල්ල මොන පාටද කියලා මං දොස්තරගෙන් ඇහුවා .එයා කිව්වා ඒකට පාටක් නෑ කියලා .



ඉන්පස්සේ මං කැම්පස් ගියෙ නෑ. තව අවුරුද්දනෙ ඉතුරුවෙලා තිබුණෙ . වැඩි දෙයක් උගන්නන්නෙ නැති වෙයි කියලා හිතුණා .නිවාඩු පිට තිබුණු ෆෝන් එකට දවසක් කෝල් එකක් ආවා. 


"මොකද කැම්පස්  යන්නෙ නැද්ද ?"


"කවුද කතා කරන්නෙ ?"


" තමුසෙ ගාව සීනියර්ස්ලගෙ නම්බර්ස් නැද්ද ?"


"මං ලඟ නෑ" කියලා මං කෝල් එක කට් කලා.පස්සෙ ආයෙම ගත්තා .


" මං මැකී . අචින්තා යන්නෙ නැද්ද ?"


මං දුන්න උත්තරය හරියටම මතක නැති වුණත් මගෙ නම මතක තිබුණට මට සතුටු හිතුණා .එයා බිල්ලා ගැන මුකුත්ම ඇහුවෙ නෑ.අපි අනං මනං ටිකක් කතා කලා.

" මං අහන්නමයි හිටියෙ . තමුසෙ නුගේගොඩ  ක්ලාස් ගියාද ඒ දවස්වල "


" ඔව්"


" මං තමුසෙව දැකලා තියෙනවා හලෝ. "


" මාත් "


"  තමුසෙගෙ ඇස් දෙක පට්ටයි ඕයි. මට  හිතුණා ඒ දවස්වල ෆොටෝ එකක් ගන්න අහන්නත්. ආයෙ වැරදියට හිතයි කියලා නිකං හිටියා "


" ඒ වුණාට මට අයියට වගේ කොළපාට ඇස් නෑනෙ ."


"හහ්. ඒ ජාන බං. ඒත් කැම්පස් ආවට පස්සෙ අඳුර ගන්නත් බැරිවුණා තමුසෙව  ."


"............................"


"මං අචින්තාට කතා කලේ  එක්ස්ටර්නල් හරි ඩිග්රිය කර ගන්න  කියන්න .ජීවිතේ සමහර  දේවල් තියෙනවා බං නමක් දෙන්න බැරි. වැරැද්ද අපි ඔය හැම මඟුලටම කියන්නෙ ආදරේ කියලා. ඕකට කියන්නෙ බං තණ්හාව .  ඉතිං තණ්හාවෙන් ඒ දේවල් අයිති කර ගන්න හැදුවම ජීවිතේ වරදිනවා"


 බිල්ලව මං තණ්හාවෙන් අයිති කර ගන්න හැදුවද කියලා හිතද්දි මටම හිනා ගියා.


" මොකෝ තමුසෙ හිනාවෙන්නෙ ?  අචින්තා මං ලන්ච් බ්රේක් එකේ බං ගත්තෙ .තියන්නම්.බායි."


මං ඕෂධීට ඒක කිව්වේ නෑ. ඒත් ඕෂධීම මට පස්සෙ කිව්වා මැකීට ක්ලාස් එකකුත් තියෙන නිසා හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් ලැබිලා කියලා. ඉන්පස්සේ එයා මට ආයෙ කෝල් කලේ නෑ.මාත් කතා කරන්න ගියෙ නෑ .


ඒත් මං තාත්තට කිව්වා මට ආයෙ  ඩිග්රි එක කරන්න ඕන කියලා. කුඩම්මා නම් කිව්වේ හදිසි නොවී ඉවසන්න කියලා.දවසක් තාත්තා අන්කල්  කෙනෙක්ව එක්කරගෙන ආවා.තාත්තා කිව්වෙ එයා වරදට සමාව දෙන හරිම හොඳ කෙනෙක් කියලා . අන්කල් නීතියට වැඩ. කඩදාසියක අත්සන් කරලා එයා මාව දරුකමට හදාගන්න ගත්තා .ඒත් මං ලොකු ළමයෙක් නිසාත් , ළමයි ලොකු වුණාම තමන්ව හදාගන්න අයව රැක බලාගන්න ඕනෙ නිසාත් මට සිද්දවුණා අන්කල්ව බලාගන්න .


"උඹට පිස්සුද අචින්තා ?" ඕෂධී ඇහුවෙ ගෙදරට ඇවිදින් .


"ඔව් මට පිස්සු " එහෙම කිව්වම ඕෂධී එයාට හදපු තේ එකත් නොබීම යන්න ගියා.


අන්කල් තාත්තා කිව්වා වගේම හරිම හොඳයි.එයාගෙ ඇස් දෙකටම කාච දාලා තිබුණා .ඒ ඇස් හරිම නිශ්ශබ්දයි. එයා ඇදහුවෙ අර බඩ තඩි හිනාවෙන චීන දෙවියන්ව. ඒ දේව පිළිම ගෙදර හැමතැනම තිබුණා . එයා කිව්වා කැමති නම් ඩිග්රිය  කරගන්න කියලා. මං කිව්ව පමාවට වැඩ පටන් ගත්තා .වරදකට කියලා තිබුණෙ අන්කල් රෑට  නින්දෙන් ගොරවපු එක විතරයි .ඔහොම අවුරුදු දෙක තුනක් ගෙවිලා ගියා.


ඒ කාලෙ වෙනකොට මං කොළපාට ඇස් ගැන අමතක කරලයි තිබුණෙ . නිශ්චිත නමක් දෙන්න බැරි දේවල් අපේ ජීවිතේ ඇතුළෙ තියාගන්න අපි මොනතරම් උත්සහ කලත් ඒවා අමතක කරලා දාන්න කාලයක් එනවා. ඉතිං අන්කල් එක්ක මං සතුටින් සමාදානයෙන් ජීවත් වුණා කියලා මේ කතාව ඉවර කරන්න තිබුණා , හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා අන්කල් ආන්ටි හිටපු දිහාවටම යන්න ගියෙ නැත්නම් .අන්කල් ගිහිං තිබුණෙ එයාගෙ පෙන්ෂන් එක මට තියා ගන්න කියලා . මොනවා වුණත් ලෝබ නැති හොඳ මනුස්සයෙක් .


" මං හිතලා බලලා ඕවා ගැන කිව්වේ නැත්නම් අද පාරට වැටිලා . දැන් ඉතිං කාටවත් බරක් නැතුව ඉන්නවනෙ "


අන්කල් ගිය දවසෙ අපේ ගෙදර ආපු කුඩම්මා  තාත්තට රහසින් කියනවා, මං අහගෙන. ඒ වචනවල තේරුමක් තිබුණත් නැතත් මං හුස්ම ගනිමින් හිටියා . ඒත් , ජීවත් වෙනවා කියන්නෙ හුස්ම ගන්නවට විතරක් ද? මට ඒ ගැන කල්පනා කරන්න උවමනාවක් තිබුණෙ නෑ.දාහක් ඇස් මං දිහා බලං හිටියා කියලා කියන්න තිබුණා නම් කොයිතරම් හොඳ ද? තටු කැඩුණු කපුටො දෙතුන් දෙනෙක් වටේ කැරකුණා මිසක දවස් හතකට පස්සෙ බල්ලෙක් වත් මං ලඟ හිටියෙ නෑ. ඒ ඉතිං ඔයා බල්ලෙක් හදාගත්තේ නැති හින්දනෙ කිව්වේ ඕෂධී .  ඒ දවස්වල වෙඩින් එකට ලැහැස්ති වුණු නිසා කෙල්ලටත් හරි හරියට වැඩ තිබුණා .


ගොඩක් කාලෙකින් ගියෙ නැති නිසා මට ආයෙ පන්සල්වත් පල්ලිවත් යන්න හිතුණෙත් නෑ.මං මූසල පාළුවකින් වෙලිලා, දුකින් තනිවෙලා හිටියා කිව්වොත් ඒකත් වැරදියි.   හිත ඇතුළෙ තිබුණෙ මහා හිස් බවක් . හිස් බව කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. එතකොට පිටතින් එන ඕනෙම දේකට කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හිතට ඇතුළු වෙන්න පුළුවන් .ඉතිං මං හිතුවා ඇවිදින්න . ගොඩක් දුර යන්න නෙමෙයි. ටිකක් ඇවිදින්න ......


සෙනඟ ගැවසෙන වීදිවල, සෙනඟ නැති හුදෙකලා පටු මාවත් වල මං ඔහේ ඇවිදගෙන ගියා. කොයිතරම්    දවසක්  මං එහෙම ඇවිදගෙන ගියාද කියලා මං වත් දන්නෙ නෑ.දවසක් කවුදෝ මාව නතර කර ගත්තා .


" ඔව් මිසිස් දසනායක. මං හිතන්නේ අපිට පුළුවන් ඔයාව මේ ජොබ් එකට ගන්න ."


එහෙම කිව්වේ තිවංක ඉරුගල්බණ්ඩාර. පිළිවෙළට රැවුල කපපු, කොණ්ඩෙ පැත්තට පීරලා, ටයි ගැටය නිතර තදකර ගත්ත ,කැරකෙන පුටුවෙ ලාවට කැරකෙන ගමන්  මං දිහා රාජකාරි බැල්මක් හෙලපු කොළපාට ඇස් දෙක නොහොත් මැකී! 


" තෑන්ක් යූ"


තණ්හා රේඛා මියැදිලා තිබුණා .තිවංක ඉරුගල්බණ්ඩාර මගේ හිත් අහස කැළඹුවෙ නෑ. පොද වැස්සක්වත් වැස්සෙ නෑ.ඉරිතලලා තිබුණු හිත උඩින් දූවිලි සුළඟක් හමාගෙන ගියා. 



නිමි.

Thursday, June 15, 2017

ඇස් (දෙවන කොටස )


ඇස් (පළමු කොටස )

මට බයටම දණ ගැහුණා. ඉන්පස්සේ මොන මොනවාදෝ කිව්වා . මාත් අනිත් අයට එකතුවුණා. ඒත් මගෙ ඇස් දෙක ඒ ඇස්වලින් මිදුණෙ නෑ. මේ ඒ ඇස් දෙකම තමයි. ඒත් මේ එයාමද? කෙට්ටු වෙලා හිටපු එයාගෙ  මුහුණ පුරාම රැවුල වවාගෙන, කොණ්ඩෙ වවලා පුංචි පෝනිටේල් එකක් දාලා තිබුණා . රෝස පාට තොල් කළු පාට වෙලා. එක අතක මහපට ඇඟිල්ලෙ නියපොත්ත දිගට වවලා.ඒ ඇස් මගේ ඇස් දිහා බැලුවෙ නෑ. හදවත හිරවෙලා වගේ දැනුණා .

රැග් සීසන් එක ඉවරවුණාම අනිත් සීනියර්ස්ලා හැමෝම අපිත් එක්ක පණ දෙන්න වගේ කතා කරද්දි එයා මඟඇරලා ගියා. ඒත් බැච් එකේ කෙල්ලො හැමෝම එයාට වශී වෙලා හිටියෙ. එයාගෙ කාඩ් එක මැක්කා. යාළුවො කිව්වේ මැකී කියලා. මැකීව දැලේ දාගන්න ඕනෙ වුණේ මගෙ රූම් මේට්  ඕෂධීට.

" මාර පර්සනලිටි එකක් බං. කලම්බු සිලෙක්ට් වෙලත් එෆෙයාර් එක බ්රේක් වුණු  නිසාලු මෙහෙ ඇවිත් තියෙන්නේ . පිට පිට සෙමෙස්ටර් දෙකකම බැච් ටොප්ලු."

" ඉතිං ?  "

"ඉතිං කියන්නෙ ? කැමති නැද්ද මට හරියනවට?"

මං හිත පහුරු ගාලා බැලුවා ඊර්ෂ්‍යාවෙ ගිනි පුලිඟුවක්  මතුවෙලා තියෙනවද කියලා . අඩුගානේ  නිවි නිවී දැල්වෙන පණ අදින එකක්වත් ?  නැහැ . හිත  හොඳටම තෙතබරි වෙලා තිබුණා .ඉතිං කොහොම ගින්නක් අවුලුවා ගන්නද?

ඕෂධී දෙයක් කිව්වොත් කිව්ව දේ කරන කෙල්ලක් . මාස දෙකයි ගතවුණේ. ඕෂධී කිව්වා වගෙම මැකීව එයාගෙ  පෙම්වතා කරගත්තා . ඒත් සති දෙක තුනකින් ඕෂධී ආයෙමත් එයාගෙ එෆ් බී එකේ රිලෙෂන්ෂිප් ස්ටේටස් සින්ගල් කියලා වෙනස් කලා. ඊටපස්සෙ  "ආදරේ කඳුළු " පේජ් එකේ පෝස්ට්ස් එක දිගට ෂෙයා කරන්න ගත්තා .

"ඌ මහ සතෙක් . මගෙ වාසනාවට මං බේරුණේ. බොනවා, සිගරට් බොනවා විතරක් නම් මදැයි . පන්සිල් පද පහම කඩනවා."

ඕෂධී එහෙම කියලා එයා ගාව තිබුණු මැකීගෙ  ෆොටෝස් ටික ඩිලීට් කරගෙන , කරගෙන ගියා . සමහර අය කිව්වේ ඕෂධී කියපු කතාව ඇත්තම ඇත්ත කියලා. ඒත් ගෑණු ළමයි නම් වැඩි දෙනෙක් කිව්වේ  මැකී එක්ක ඉන්න පින නැති කමට ඕෂධී බොරු කතා පතුරවනවා කියලා .

මං ආයෙමත් හිත පතුල අතගාලා බැලුවා . වෙනසක් ඇත්තෙම නෑ. හිතට තට්ටු කලාම වෙනදා වගේම බොල් හඬක් ඇහුණා . ඒ ඇස් දෙක මං දිහා බැලුවෙත් නෑ. මං බලාපොරොත්තු අත්හැරියෙත් නෑ. තාත්තා ඉඳහිට කෝල් කලා . මුලින් මුලින් කුඩම්මත් කතා කලා. පස්සෙ ඒක නැවතුණා .

ඒ අතරෙ ගෝනිබිල්ලෙක් ජීවිතයට ආවා . එයා හිටියෙ එයා⁣ගෙම වුණු ගෝනියකට බැහැලා . ගෝනිය රතු පාටයි කියලා දැනගෙන හිටියට ඒක ඇතුළෙ තියෙන්නෙ මොනවද කියලා මං දැනගෙන  හිටියෙ නෑ. මට දැනගන්න ඕන වුණෙත්  නෑ.  එයාගෙ කාඩ් එක "බිල්ලා". බොහොම තැන්පත් කෙනෙක්. හිනාවුණෙත් පරිස්සමට .... ඒත් එයා නිතරම එයාව තුවාල කර ගත්තා . මං බයවුණා ගෝනිය ඇතුළෙ තියෙන්නෙ වීදුරු කටුවත්ද  කියලා . එහෙම නෙමෙයි කියලා එයා දිව්රුවා ,එයා මතම. මං "හා" කිව්වා . බිල්ලා මට පන්සල් යන එක තහනම් කලා. ඒ ගමන මං අම්මා වගේ පල්ලි යන්න පටන් ගත්තා . එයා කිව්වා ඒකත් ඕනෙ නෑ කියලා. ඒ පාර නම් මට තරහ ගියා. ඒත් ඒ වෙනකොට පේමන්ට් එකෙන් ගත්ත පිත්තල මුද්දක් එයා මගෙ ඇඟිල්ලකට දාලා තිබුණෙ . විප්ලවවාදියෙකුගෙ පෙම් කවිය කියලා පත්තරේකින් ඉරාගත්ත කවි පෙළකුත් දීලා තිබුණා . ඉතිං මං හිතුවා ,එහෙම නීති දාන්න බිල්ලට අයිතියක් තියෙනවා කියලා.එහෙම හිතුවම තරහ අළු වෙලා, ඒ අළු සුළගෙ පාවෙලා ගියා.


එක හවසක මං බිල්ලට පෙරැත්ත කරලා, බැරිම තැන අඬලා එයාව මූදු වෙරළට එක්කගෙන ගියා.එයා කිව්වා ඔය වගේ  බොළඳ ගමන් යන්න එයා කැමති නෑ කියලා.( එයා කැමති ආවරණය වෙලා තියෙන තැන් වලට. එළිමහනට කැමතිම නෑ. ගෝනියට බැහැලා ඉන්න පුරුද්ද වෙන්නැති .) ඒත් කොහොමහරි එයා ආවා.එයා පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නකොට මං වෙරළ පුරාම නැටුවා.රැල්ල එක්ක සෙල්ලම් කලා.බිල්ලගෙයි මගෙයි නම් දෙක වෙරළෙ ලියන්න හිතලත් ආයෙ බැනුම් අහන්න වෙයි කියලා හිතලා ලිව්වේ නෑ. ඉතිං මං හෙමිහිට බිල්ලා ලඟට ගිහිං වාඩිවුණා .

බිල්ලගෙ ඇස් දෙක දිහා බලන්න වෙන්නෙ එහෙමත් දවසක. එයා මූණ බලලා කතා කරන කෙනෙක් නෙමෙයිනෙ . එයාගෙ ඇස් දෙක දුඹුරු පාටයි. සරලයි. කියවන්න පහසුයි. එ් වෙලාවෙ එයාගෙ ඇස් දෙකේ තිබුණෙ  අපි ටිකක් නිදහසේ කතා කරන්න  අර වැටකෙයියා පඳුරු  පැත්තට යමු වගේ බැල්මක්.ඒ බැල්ම වචනවලට හරවන්න හදනකොටම  එහා පැත්තේ තිබුණු පඳුරු අතරින් මතුවුණේ මැකී . එයා අමාරුවෙන් දුවගෙන ඇවිත් වමනෙ දාන්න පටන්ගත්තා . එයාගෙ පස්සෙන් දුවගෙන ආවෙ  අපේ සීනියර් අයියලා දෙන්නෙක් .මං ඉක්මනටම නැගිටලා ගිහිං මගේ වතුර බෝතලේ මැකීට දුන්නා . බෝතලේ ආපහු මගෙ අතට දෙනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා .ආයෙමත් ඒ කොළපාට ඇස් ...... අවුරුදු ගාණකට පස්සෙ , හිත ඇතුළෙ මහ හඬ දීලා අකුණු පුපුරන්න පටන් ගත්තා . මුහුද රළු වෙලා මහා රළ ගෙඩි ඇවිත් වෙරළෙ හැපුණා. ඒ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාව මේ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාවත් එක්ක එකතු වුණා .

"තෑන්ක්ස් නංගි . මැකී අපි යමු"

කවුරුහරි කිව්වා හීනෙන් වගේ මතකයි. මැකී ආපහු හැරිලා යාළුවොත් එක්ක යන්න ගියා. මං මැකී දිහාම බලන් හිටියා .පඳුරු අතරින් එහාට යන්න කලින් එයා ආපහු හැරිලා බැලුවා .ආයෙමත් ඒ හදවත විනිවිදින බැල්ම !  මට ඉබේටම බිල්ලා දිහා බැලුණා. බිල්ලගෙ දුඹුරු පාට ඇස් රතු පාට වෙලා තිබුණා .

"ඔයාගෙ ඇස් අමුතු වෙලා. ඇයි ඔහොම බලන්නේ ?"

"බාග වෙලාවට  ගෝනියෙ රතු පාටට හිරු එළිය වැදිලා ඒක ඇස් වලට පරාවර්තනය වෙලා වෙන්න ඇති."

මං වෙනදා වගේම ඒක විශ්වාස කළා.

මතු සම්බන්ධයි .....

Tuesday, June 13, 2017

නුඹ , මම සහ අහස



හිඟ නොවුණු මතක
ඉඳහිට නෙතු තෙමනකොට
නුඹේ දෙනෙතින්  වහං වී
දුරකට පියඹන්න හිතුණට
පියාපත් නුඹගෙ වග
අමතකම වුණා මට.....

අහස්ගැබ වලාවන් 
නොමැතිවම අඬගැහුවට
තව ටිකෙන් වැසි  ඇවිදින් 
ගං දිය ගලයි දෙරණට
හිරු යළි ඒවි යයි
අමතකම වුණා මට.....

පණිවිඩ කියන කොවුලන්
 කැදලි තුළ ගුලි වී නිදනවිට
හිස් අහස උමතුව 
නුඹවම සොයා යනවට
සැක  නෑ මගෙන් විමසයි
අමතකම වුණා මට...  

Sunday, June 11, 2017

ඇස්

ඇලපිලි, ඉස්පිලි, පාපිලි නැතුව වචන ලියුවම ඒ වචනවල තේරුම  තේරුම් ගන්න අමාරුයි .මිනිස්සුන්ගෙ ඇස් වලින් කියවෙන වචනත් හරියට ඒ වගේ. කටින් වචනයක්වත් පිට නොකර ඇස්වලින් දාහක් දේවල් කියන මිනිස්සු හරිම භයානකයි .  ඒ ඇස්වල    හැංගිච්ච දේවල් වලට අපි එක එක වෙලාවට එක එක විදිහෙ නම් කිව්වට ඒ හැමදේටම තියෙන්නේ එකම හේතුවයි.විසඳගන්න බැරි, ලෙහා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එකපෙළට අඩුක් කරපු මූණත් තහඩුවල නිවි නිවී දැල්වෙන සංඥා ආලෝක දෙක හැමවෙලාවෙම පේවෙලා ඉන්නෙ අන්න ඒ හේතුව වෙනුවෙන් .

එයා ඒකට කිව්වේ තණ්හාව කියලා . මගේ ඇස් දෙකත් ,එයාගෙ ඇස් දෙකත් එකට යාවුණු මුල්ම දවසෙ,ඒ ඇහේ ඉඳලා මතුවෙලා ආපු තණ්හා රේඛාව මේ ඇහෙන් මතුවුණු තණ්හා රේඛාවත් එක්ක එකතු වෙලා බන්ධනයක් ගොඩ නැගුවා. රේඛා දෙක යාවුණු තැන හොයාගන්නත් බැරි විදිහෙ බිඳින්න බැරි බන්ධනයක් .

සෙනසුරාදා උපකාරක පන්තිය ඉවරවෙලා රොටරියෙ පිටිපස්සෙ ගේට්ටුවෙන් එළියට ඇවිත් මාකට් එක ලඟින් වැටුණු පාරදිගේ යනකොටයි මං එයාව මුලින්ම දැක්කෙ. එයාගෙ එක උරහිසක දුඹුරු පාට පොත් බෑග් එක. අනිත් උරහිසේ ගෑණු ළමයගෙ ඔළුව. ඒ දෙන්නගෙ දෑත් තදින් පැටලිලයි තිබුණෙ . ගෑණු ළමයා තොරතෝංචියක් නැතුව මොනවාදෝ කියමින් හිටියා . එයා හිස් බැල්මකින් බලාගෙන හිටියා . ඒක ඒතරම් දුර්ලභ දර්ශනයක් නොවෙන නිසා මගේ අවධානය තත්පර කිහිපයකට වඩා එතන රැඳුණෙ නෑ.

ප්‍රධාන පාරට හැරිලා පාර පැනලා පල්ලිය එහා පැත්තේ තිබුණු සුකුරුත්තන් ආභරණ සාප්පුවට ගොඩවැදුනේ යෙහෙළියකට උපන්දින තෑග්ගක් ගන්න . අනං මනං විසිතුරු ආභරණ අතර ඇවිදලා හිතට අල්ලන යමක් තෝරාගන්න හිතාගන්න බැරි වෙලාවක් ගතවුණා. කවුන්ටරය ලඟට එද්දි එයාත් එතන හිටියා . කලින් සැලසුම් කරලා තිබුණා වගේ එයත් එකපාරටම හැරිලා මා දිහා බැලුවා .එයාගෙ උස මහත දේහය, පැහැපත් පෙනුම ,අක්බඹරු හිසකෙස්, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් , ගැහැණු ළමයෙකුගෙ වගේ රෝසපාට තොල් ,රෝම පිරුණු ශක්තිමත් බාහු කියන කිසිම දෙයක් මගේ ඇස් වලට විෂය වුණේ නෑ.ඒ වෙනුවට මං දැක්කෙ ඒ ඇස් දෙක විතරමයි. කොළ පාට ඇස්.... කාටවත්ම නොතිබුණු කොළපාට ඇස් මාව මෝහනය කර ගත්තා .  මාත් බලාගෙන හිටියා , ඒ ඇහේ හැම සියුම් චලනයක් දිහාම .....

එදා ඉඳන් හැම සෙනසුරාදාවකම  ඒ ඇස්දෙක දකින්න මං මඟබලාගෙන හිටියා . මාකට් එක ලඟ, සරසවියෙදි, සුකුරුත්තන් බඩු සාප්පුවෙදි, ගුවන් පාලම යටින් පාර පනින කොට, බෝ ගහ යටදි, කොහුවල හන්දියට එන අතරතුර , ඔය ⁣ඕනම තැනකදි ඒ ඇස් දෙක මුණගැහෙයි කියලා මං බලාපොරොත්තු වුණා . ඒ බැල්ම මඟහැරේවිද කියලා මං බයවුණා . එයා ගොඩක් වෙලාවට හිටියෙ ගෑණු ළමයා එක්ක . තනියම හිටපු වෙලාවට වුණත් එයා එක්ක කතාකරන්න ඇත්නම් කියලා මට කවදාවත් හිතුණෙ නෑ. ඒ විදිහට බලා ඉන්නවා ඇරෙන්න එයා මං එක්ක කතා කලෙත් නෑ. එයා කතා කලත් මට කියන්න දෙයක් තිබුණෙත් නෑ. කොටින්ම මං එයාගෙ නම මොකක්ද කියලාවත් දැනගෙන හිටියෙ නෑ.

මගේ බලාපොරොත්තු ගැන කවුරුහරි දැනගෙන හිටියා නම් හිතන්න තිබුණා වෙන ගෑණු ළමයෙක්ට අයිති කෙනෙක්ව බලන්න කැමති වෙන එක මොන තරම් නැහැදුණුකමක්ද කියලා. ඒත් මට ඒ දෙන්නා ගැන අඹමල් රේණුවක ඊර්ෂ්‍යාවක් තිබුණෙ නෑ. එයාව අයිති කර ගන්න වුවමනා වුණෙත් නෑ. මං බලාපොරොත්තු වුණේ ඒ ඇස් දෙකේ බැල්ම විතරයි .ඒ බලාපොරොත්තුවට නමක් දෙන්න මං තාමත් දන්නෙ නෑ.

දින, සති, මාස වෙලා අවුරුද්දක්ම ගෙවුණා. සෙනසුරාදා පන්තියට නිවාඩු දුන්නා. නිවාඩු දුන්නා කියන්නෙ නිවාඩු දුන්නා මිසක් නැවැත්තුවා නෙමෙයි. මොකද සර් දැනගෙන හිටියා මං වගේ ඒ වෙනකොටත් දෙවනිපාරට උසස්පෙළ කරන්න තීරණය කරලා තිබුණු අයට පළවෙනි පාර විභාගය කරලා, අඬලා,දොඩලා, ආයෙ අලුතින්ම “කැම්පස් යාමෙන් මිසක මාගේ උත්සාහය අත් නොහරිමි” වගේ ධනාත්මක චින්තන බෝඩ් කෑල්ලක් මේසෙ ඉස්සරහා එල්ලලා(පරණ එක ගලවලා ඉරලා විසි කරලා) සුපුරුදු පරිදි පන්ති එන්න නිවාඩුවක් ඕනෙ කියලා.  ඊටපස්සෙ විභාගෙ ලියලා මං ආයෙ පන්ති ආවා. ඒත් ඒ ඇස් දෙක ආයෙමත් දැක්කෙ නෑ. ඒ වෙනුවට කළුපාට, අළු පාට ඇස් හැමදාමත් දැක්කා. කලාතුරකින් නිල් පාට ඇස් පවා දැක්කා . ඒත් තණ්හා රේඛාව පොඩ්ඩක්වත් ඇහෙන් එළියට ආවෙ නෑ.

දෙවනිපාරට විභාගෙ කලාම මං පාස් වෙලා තිබුණා . ඒත්  ඉසෙඩ් අගය මදි කියලා කැම්පස් එක ලැබුණෙ වියළි කලාපෙන්. රොබරෝසියා මල් ගැනයි, සීතල කඳු ගැනයි කවි ලියන්න හිතං හිටපු හීනෙ අත් හැරලා තාත්තා එපා කියද්දි මං කැම්පස් ආවා.මට ඕනෙ වෙලා තිබුණෙ ගෙදරින් ඈත් වෙන්න . තාත්තගෙ පළවෙනි කසාදෙ ළමයා කියන කැළල හැමතිස්සෙම පස්සෙන් එන එකෙන් මිදෙන්න . ඒ නිදහස විඳින්නට ලැබුණෙ හරියටම සතියයි .මං ආයෙමත් ඒ කොළපාට ඇස් දෙක දැක්කා .

“ හ්ම් දණගහගනිල්ලා ඔක්කොම එවුං”

 ඇස්දෙකට පහළින් තිබුණු දිගටි නහය පහුකරගෙන ඒ කට දිහා මං බයෙන් බැලුවා .

 “ඇයි මොකද උඹට වෙනම කියන්න ඕනෙද?”

මට බයටම දණ ගැහුණා. ඉන්පස්සේ මොන මොනවාදෝ කිව්වා . මාත් අනිත් අයට එකතුවුණා. ඒත් මගෙ ඇස් දෙක ඒ ඇස්වලින් මිදුණෙ නෑ. මේ ඒ ඇස් දෙකම තමයි. ඒත් මේ එයාමද? කෙට්ටු වෙලා හිටපු එයාගෙ  මුහුණ පුරාම රැවුල වවාගෙන, කොණ්ඩෙ වවලා පුංචි පෝනිටේල් එකක් දාලා තිබුණා . රෝස පාට තොල් කළු පාට වෙලා. එක අතක මහපට ඇඟිල්ලෙ නියපොත්ත දිගට වවලා.ඒ ඇස් මගේ ඇස් දිහා බැලුවෙ නෑ. හදවත හිරවෙලා වගේ දැනුණා .

රැග් සීසන් එක ඉවරවුණාම අනිත් සීනියර්ස්ලා හැමෝම අපිත් එක්ක පණ දෙන්න වගේ කතා කරද්දි එයා මඟඇරලා ගියා. ඒත් බැච් එකේ කෙල්ලො හැමෝම එයාට වශී වෙලා හිටියෙ. එයාගෙ කාඩ් එක මැක්කා. යාළුවො කිව්වේ මැකී කියලා. මැකීව දැලේ දාගන්න ඕනෙ වුණේ මගෙ රූම් මේට්  ඕෂධීට.

" මාර පර්සනලිටි එකක් බං. කලම්බු සිලෙක්ට් වෙලත් එෆෙයාර් එක බ්රේක් අප් වුණු නිසාලු මෙහෙ ඇවිත් තියෙන්නේ . පිට පිට සෙමෙස්ටර් දෙකකම බැච් ටොප්ලු."

" ඉතිං ?  "

 මතු සම්බන්ධයි .

Friday, June 9, 2017

සුවඳ


නුඹ උදුරගත්  හීන
හෙට ඉඳන් මං ආයෙ
අලුතින්ම  වියනවා
පිස්නාවෙ  නූල් ඉහිරී යන්න
පිස දැමූ කඳුළු යළි
උනන්නට නොහැකි ලෙස
නෙතු අගුළු දමනවා
හිනාවෙන  මුහුණුවල
පිරුණු අනුකම්පාව
මිටට ගෙන නීලාවරෙයි
ලිඳට දමනවා
කොපුල් තල සිපගත්ත
උණුසුම් සුසුම් මතක
කීතු කර දවා අළු
 සුළඟෙ පා කරනවා
මඟහැරුණු තනිකමට
මිදුණු හිත බාරදී
අන්ධකාරයෙන් පිට
ලෝකයට එබෙනවා
මකන්නට නොහැකි ලෙස
ලඟ රැඳුණු නුඹෙ සුවඳ
හෙමින් සීරුවේ
හදවත පහුරු ගානවා.....





බ්ලොග් අඩවියක් ඇති බවත් අමතක වෙලා තිබුණෙ .... ඒ ගැන සමාවෙන්න ගොඩාරියක් ... කාර්යබහුලත්වයෙන් මිදිලා සඳවතිය ආයෙමත් බ්ලොග් අහසට පිවිසුණා ...


Saturday, May 13, 2017

සොඳුරු හුදෙකලාව

      ජීවිතේ මහ ගොඩක් දිගයි කියලා මං පළමු පෝස්ටුවෙනුත් කිව්වා ..... ඒ දිගම දිග ජීවිත අහස් කුස සැරිසරන අතර සඳවතිය  හෙමින් සීරුවේ කල්පනාවට වැටුණා . අහසට ඈ සඳවතියක් වුණත් ඇය තවමත් පුංචි කෙල්ලක් ....  නිදා ඉන්න තරු පොකුරු අවදි නොකරම ඈ කල්පනා කලා..... කල්පනා කරන්න නම් සඳවතියට හුදෙකලා වෙන්නම ඕනෙ .
                             
   හුදෙකලාවට ඈ පුදුම විදිහට කෑදරයි. මල් පිපෙන ගසක් මුල, වැල් එතුණු පඳුරු ගොල්ලක් පාමුල, සුදු වැලි අතුල ගං තෙරක, හිරු බැසයන වෙලාවට වෙරළ සිඹින සිඳු රළ අතර හුදෙකලා වෙන්නට ඈ හරි මනාපයි .  හරිත වර්ණ වන පියසක, නෙලඹු විකසිත සොඳුරු උයනක, හෙමින් සැරේ ඇවිදින් කොපුල් තල සිප ගන්න මඳපවනට තුරුළු වෙලා හුදෙකලා වෙන්නට ඇත්නම් ඇයට අන් කිසිවක් ඕනෑ නැති තරම්.....
                                                          
 ඒත්  ඒවා නැතුවාට කාරි නෑ. මිතුරියන්ගේ දඟකාර සිනා හඬ අතරත්, බොජුන් හලක ප්‍රණීතම බොජුන් රස විඳින අතරෙත්, ප්‍රියතම ආචාර්යවරයාගේ දේශනයක් අතරතුරත්, බස් රථයේ කිටි කිටියේ සෙනඟ අතර හිරවෙලා ඉන්නකොටත් ඇයට හුදෙකලා වෙන්න පුළුවන් .  මේ නරක පුරුද්ද නිසාම ඇය බැනුම් අහපු වාර අනන්තයි. වැඩියෙන්ම අම්මාගෙන්. අම්මා දහසකුත් ප්‍රශ්න අහනකොට ඒ එකකටවත් පිළිතුරු නොදී අම්මාගේ මුහුණ දිහා බලා සිටීමයි හේතුව .  දැන් මතක්වෙනකොට හොඳටම හිනා ගියත් ඒ වෙලාවට නම් දැනෙන්නේ හරිම අසරණ බවක්.
   
ඉතිං අප්පේ ඔහොම බැනුම් අහගෙන හුදෙකලා වෙලා සඳවතිය ඔයහැටි මොනවද කල්පනා කරන්නෙ ? එහෙම අහන්නේ අහස...  කල්පනා කරන්න දේවල් ද නැත්තෙ ? සඳවතිය කල්පනා කරන්නෙ අහසයි පොළවයි එකතු කරන විදිහක්.... එතකොට සඳවතියට විල් දියට ඡායාව පතිත කරනවා වෙනුවට ජීවමානවම ඇවිදින් ජල ක්‍රීඩා කරන්නට  හැකිනොවෙද?  හ්ම්ම් ... ඒ පාර නම් අහස සඳවතියට  හොඳටම හිනාවෙනවා.හිනාවෙන්න ඉතිං ... ඇති තරම් හිනාවෙන්න .... ඒත් හුදෙකලාවට ආදරය කරන එක නම් නවත්තන්නෙ නෑ. කවුරු අමනාපකම් පෑවත් අපි දෙන්නගෙ යාළුකම සදහටම පවතීවි.
        හුදෙකලාව කියන්නෙ  වචනයෙන් විස්තර කළ   නොහැකි අමුතුම හැඟීමක් ....ඒක ආශ්වාදයක්... ඉසියුම් සංගීතයක්.... මුළු  ලෝකයම ඔයත් එක්ක නැති වෙලාවට පවා ඔයා ඔයත් එක්ක ඉන්න බවට ලොකු විශ්වාසයක් දැනෙනවා......  දුක හිතෙන වෙලාවල් වලදිත් , සතුටු හිතෙන වෙලාවල් වලදිත් ....  සමහර වෙලාවට  ඔයාට ඔයත් එක්කම කතා කරන්නත් සිද්දවෙනවා .  උදාහරණයක් ගත්තොත් විභාගයක්  හොඳටම ඇනුණ වෙලාවකදි මං මටම මෙහෙම කියාගන්නවා " කෙල්ලේ ,සඳා ඔය විභාගයක් කියන්නෙ මොකක්ද? විභාග තියෙන්නේ ෆේල් වෙන්න තමයි. යං කැන්ටිමට  මොනවාහරි බොන්න."  ඉතිං ඒක වෙලාවකට පිස්සුවක් වගේ දැනෙන්නත් පුළුවන් ....  ඒත් හැන්දෑවේ වැව් ඉවුරක ඉඳගෙන හුදෙකලාවේ නිහඬවම ඈත අහසෙ පාවෙන තඹපාට වලාවන් දිහා බලාගෙන ඉන්නකොට ඔයාට දැනේවි මුළු ලෝකයම තමන්ගේ පාමුල වග..... ඒ තමයි හුදෙකලාවේ මිහිර... ඒ ආනන්දනීය බව ජීවිතේ එකම එක වරක් හෝ විඳගන්නට පසුබට වෙන්න කිම්ද කාරණ ........?

කවිය

වුවමනා පමණින්  වර්ණ ගැන්වූ ජීවිත හැඩතල අතර, හමා ගිය සුසුම්  වර්ෂාවට තෙමුණු , මගෙම නොවන, පෙර දිනකද නොවූ, පසුවද නොවන, ...